Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ කළුතර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵළ ගැන ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් විසින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු සලකාබැලීම සඳහා සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සභාපති ඇතුළු සාමාජිකයින්, කළුතර තේරීම් භාර නිලධාරියා, එම මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන , නීතිපති ඇතුළු පිරිසක් නම්කර තිබේ.

පෙත්සන්කරු කියා සිටින්නේ ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ගණනය කිරීමේදී ඇතිවූ අවිධිමත් ක්‍රියා හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වූ බවය.

තමා සහ පාර්ලිමේන්තුවට තේරි පත්වූ මන්ත්‍රීවරයා අතර පවතින මනාප ඡන්ද අතර වෙනස ඡන්ද 119ක් පමණක් බවත් ඡන්ද ගණනය කිරීමේදී ඇතිවූ අවිධිමත් ක්‍රියා හේතුවෙන් තත්ත්වය උද්ගත වූ බවත් ඔහු පෙන්වා දෙයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් තරග කළ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කොට අලුතින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතීඥ කීර්ති තිලකරත්න සමග ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තෆා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.

Related posts

கோதுமை மாவிற்கான வரியை குறைக்க அரசு நடவடிக்கை

Mohamed Dilsad

President presided over a special Ministerial discussion on drought relief

Mohamed Dilsad

Twenty-four-hour water cut in Colombo tomorrow

Mohamed Dilsad

Leave a Comment