Trending Newsඑසැන පුවත්දේශීය

රිෂාඩ් බදියුදීන්ගේ ඉල්ලීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘති රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී විසින් නතර කරයි.

(UTV | කොළඹ) –

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත්වීමෙන් උතුරු සහ නැගෙනහිර පළාත් දෙකේ, මන්නාරම, වවුනියාව, මුලතිව්, පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකලපුව  දිස්ත්‍රික් 06ක ආරම්භ කර ඇති රුපියල් කෝටි 20 කට වැඩි වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති කීපයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත, නතර කර ඇතැයි අනාවරණය වේ.

මන්නාරම, වවුනියාව, මුලතිව්, පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙර අනුමැතිය ලබාගෙන ඇත. ඉතා ඉක්මනින් සංවර්ධනය විය යුතු බවට අදාළ දිස්ත්‍රික්කවල ජනතාව, ග්‍රාම සංවර්ධන සමිති, සුබසාධන සංගම් සහ අනෙකුත් ප්‍රජා මූලික සංවිධානවල ඉල්ලීම් අනුව, ව්‍යපෘති ආරම්භ කළ බව රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

අදාළ ව්‍යපෘති අත්හිටුවන ලෙසත් ඒ සඳහා වෙන්කළ ප්‍රතිපාදන වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකරන ලෙසත් දන්වමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී එස්.ඒ.පී. කුමාරි මහත්මිය අදාළ දිස්ත්‍රික්වල, දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යොමු කර ඇත.

එලෙස මාර්ගෝපදේශ නිකුත් කරමින් යොමුකළ ගණකාධිකාරී එස්.ඒ.පී. කුමාරි මහත්මියගේ අත්සනින් යුත් ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලැබීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට ගත් තීරණය හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීමට ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කළේදැයි සැකයක් තිබෙන බවයි. එසේම ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව ඇතැම් පුද්ගලයන් සහ නිලධාරීන් සදාචාර විරෝධීව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගෙන ඇතැයි තමන් විශ්වාස කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදී ඇති මාර්ගෝපදේශයන් අවලංගු කරමින් සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වේ.

සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ නොකරන්නේනම්, මැතිවරණ කොමිෂන් සභාවට මේ සම්බන්ධව පැමිණිලි කිරීමට සිදුවන බවත් අදාළ දිස්ත්‍රික්කවල ලේකම්වරුන්ට ලබාදී ඇති මාර්ගෝපදේශ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට තමන් විශ්වාස කරන බවත් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

கேப்பாப்புலவு 189 ஏக்கர் காணிகள் விடுவிப்பு

Mohamed Dilsad

சம்பிக்க தொடர்பில் சஜித் தலைமையில் கலந்துரையாடல்

Mohamed Dilsad

Bathiudeen commends Premier for assuring financial aid for flood-affectees before Dec. 31

Mohamed Dilsad

Leave a Comment