දේශීය

මත්පැන්වල තත්ත්වය සෙවීම් කඩිනම් කරයි

මත්පැන් බෝතල්වල අලවා ඇති ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් හඳුනා ගැනීමට හැකිවන පරිදි පවතින ජංගම යෙදවුම වැඩිදියුණු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අදාළ සමාගම් වෙත උපදෙස් ලබාදී තිබේ.

 

වෙළෙඳපොළ තුළ පවතින මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකර් නිසි පරිදි හඳුනාගැනීමේ ක්‍රමවේදයක් නොමැති බවට නිරීක්ෂණයවීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගමක නියෝජිතයෙකු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබුණි.

 

මත්පැන් බෝතල්වල ආරක්‍ෂිත ස්ටිකර් ඇලවීම අනිවාර්ය කළද එම උපදෙස් දිවයිනේ සියලුම මත්පැන් නිෂ්පාදකයින් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී කමිටු සාමාජිකයන් අප්‍රසාදය පළකර ඇති බව වාර්තා වෙයි.

 

කෙසේවෙතත් එම ස්ටිකර් භාවිත නොකරන සමාගම් හතරක් මේ වන විට හඳුනාගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහිදී පෙන්වාදී තිබුණි.

 

මෙම ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ උපකරණ 200ක් පසුගිය මාර්තු මාසයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදී ඇතත් මේ දක්වා එම උපකරණ භාවිත කර නොමැති බවට කාරක සභාවේදී අනාවරණය වී ඇත.‍

 

එම උපකරණ ප්‍රායෝගිකව භාවිත කළ හැකි මට්ටමට තාක්ෂණික වශයෙන් වැඩිදියුණු කිරීම මේ මස 30 වනදා වනවිට සම්පුර්ණ කරන ලෙසට ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අදාළ සමාගම වෙත වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

Related posts

ලන්ඩන් සිට දිවයිනට පැමිණි 148 ක් නිරෝධායනයට

Mohamed Dilsad

අනතුරට පත්වු බස් රථය ගැන තවත් තොරතුරු

Mohamed Dilsad

පාසල් යළි විවෘත කිරීම පිළිබඳව ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment