දේශීය

අපනයන ආදායම නොසිතූ ලෙස ඉහළට

පෙර වසරට සාපේක්ෂව පසුගිය මැයි මාසයේදී මෙරට ආනයන අපනයන වෙළෙඳ පරතරය වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

මෙරට ආර්ථිකයේ බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සිය නවතම වාර්තා ඉදිරිපත් කරමින් මහබැංකුව මෙම අනාවරණය සිදුකළේය.‍

 

ගතවූ මැයි මාසයේ වෙළෙඳ පරතරය අමෙරිකානු ඩොලර් මිලියන 447ක් බව මහ බැංකුව පවසයි.

 

එය 2022 වසරේ මැයි මාසයේ සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 403 ක් ලෙසය.

 

ඒ අනුව 2022 පෙබරවාරි මාසයෙන් පසු වෙළෙඳ පරතරය පුළුල් වීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

 

මේ අතර 2023 මැයි මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව ඉපයූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1019 ක් වන අතර ‍අප්‍රේල් මාසය හා සසඳන විට එය කැපී පෙනෙන ඉහළ යාමකි.

 

එහෙත් මහ බැංකුව පවසන්නේ, 2022 මැයි මාසයට සාපේක්ෂව අපනයන ආදායම 2.7%කින් පහත වැටී ඇති බවය.

 

2023 මැයි මාසයේදී මෙරට ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1,466 දක්වා ඉහළ ගොස් තිබේ.

 

2022 පෙබරවාරි මාසයෙන් පසු මෙරට ආනයන වියදම ක්‍රමයෙන් අඩුවීමක් දක්නට ලැබුණු අතර එය නැවත වැඩිවීමක් පෙන්නුම් කළ පළමු අවස්ථාව මෙයයි.

 

2023 මැයි මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 480 දක්වා කැපී පෙනෙන ඉහළයාමක් දක්නට ලැබේ.

 

මැයි මස සංචාරක කර්මාන්තයෙන් ඉපයූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 131ක් ලෙස සටහන් වන විට මේ වසරේ මැයි මස දක්වා කාලය තුළදී සංචාරක කර්මාන්තයෙන් ඉපයූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 828ක් ලෙස සටහන් විය.

Related posts

විදෙස් ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

15,000 කට අධික ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ අවසන්

Mohamed Dilsad

තුන් දෙනාගේ ආණ්ඩුවෙන් 2025 වසරේ පළමු මාස 04 ට අතුරු සම්මත ගිණුමක්

Editor O

Leave a Comment