දේශීය

ප්‍රචණ්ඩ ක්‍රියා කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – දිවයින පුරා පසුගිය මැයි මස 9 වෙනිදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට අදාල විශේෂ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම කමිටුවේ වාර්තාව අනුව ආරක්ෂක අංශවල යම් අඩුලුහුඩුකම් සිදුවී ඇත්නම් ඉදිරියේදී ඒ සම්බන්ධව පියවර ගන්නා බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව පසුගිය 8 වැනිදා ජනාධිපතිවරය‍ාට බාර දුන් බවද සඳහන් කළේ‍ය.

ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේ මුලසුන හොබවමිනි.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අපරාධකරුවන් ගෙන්වා ගැනීමට පවතින නෛතික බාධාවන් ඉවත් කිරීමට අදාළ නියමයටත් එම කාරක සභාවේ අනුමැතිය ලැබිණ.

මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක සහ හිටපු හමුදාපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) යන මහත්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසිනි.

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් ‍ජනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසුවේ මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ වූවන්ට සහ අනුබල දුන් අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.

විදෙස් රටවල සිට මෙරටට ගෙන්වන මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම් නතර කිරීම, අසත්‍ය ප්‍රචාර සදහා සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම වැලැක්වීමට නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙම රැස්වීමට කාරක සභා සාමාජිකයන් වන (ආචාර්ය) සරත් වීරසේකර, (මේජර්) ප්‍රදීප් උදුගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

Related posts

අදත් ගම්මාන කිහිපයක් හුදකලා කෙරේ

Mohamed Dilsad

New Diamond නෞකාවේ ගින්න පාලනය කළ සියල්ලන්ට ජනපතිගෙන් තුති

Mohamed Dilsad

පාර්ලිමේන්තුව රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment