දේශීය

රනිල්ගේ පෙත්සම සළකා බැලීමට දින නියම වෙයි

(UTV | කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලු පරීක්ෂණ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර ඇති නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර ඇති රීට් පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව එම පෙත්සම මාර්තු මස 30 වනදා කැඳවන ලෙසයි අභියාචනාධිකරණය අද නියම කළේ.

මෙම පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න, ලෆාර් තාහීර් සහ ඩී. එම්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 30 වනදා කැඳවන ලෙස නියෝග කරනු ලැබුවා.

පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ ඉකුත් යහපාලන රජය සමයේ ස්ථාපිත කළ දූෂණ මර්දන ලේකම් කාර්යාලය හා සම්බන්ධ කටයුතු කිහිපයකට තමන් වගකිව යුතු බවට දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලු ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත්කර ඇති බවයි.

තමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවදියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වූයේ තමන් යටතේ නොවන බවත් එහි කටයුතුවලට තමන් මැදිහත් නොවූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

දූෂණ මර්දන ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ පැමිණිලි මත විවිධ පුද්ගලයින්ට නඩු පැවරුම් සිදුකරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම වැනි පිළිගත් රජයේ ආයතන විසින් බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ.

Related posts

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක හෙට (16)

Editor O

මවක් සහ දස හැවිරිදි කුඩා දරුවෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment