දේශීය

අයහපත් කාලගුණයට ජීවිත 26ක් බිලි වෙයි

(UTV | කොළඹ) – දිවයින පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 26ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිස්ත්‍රික්ක 17කට මෙම ආපදා තත්ත්වය බලපා ඇති අතර ඒ හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

එමෙන්ම, මේ වන විට රට පුරා පූර්ණ දේපළ හානි 39ක් සහ අර්ධ හානි 1390ක් ද වාර්තා වී ඇත.

තව ද අධික වර්ෂාව, පස් කඳු කඩා වැටීම්, දැඩි සුළග, ගංවතුර, ක්ෂණික ගංවතුර සහ අකුණ ආදී ආපදා හේතුවෙන් පවුල් 65,580ක පුද්ගලයින් 230,185ක පමණ සංඛ්‍යාවක් දුෂ්කරතාවන්ට පත්ව තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පේදුරු තුඩුවේ සිට කි.මී. 300ක් පමණ උතුරු දෙසින් වයඹ දෙසට ගමන් කර අද (නොවැ. 12) සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

බස්නාහිර, සබරගමු, වයඹ සහ මධ්‍යම පළාත්වල ත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ත් විටින් විට වැසි ඇති වන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ඌව පළාතේ ත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ත් විටින් විට වැසි ඇති විය හැකි බව ද උතුරු පළාතේ උදෑසන වැසි ඇති වන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

තව ද බස්නාහිර, සබරගමු, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75ක පමණ තරමක තද වැසි සහ දිවයින හරහා විටින් විට පැ.කි.මී.40-50 පමණ තද සුළඟ ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Related posts

අස්ගිරිය විහාරයීය රාජුපස්ථානීය විංශත් වාර්ගික කාරක සංඝ සභාවට පූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත නාහිමි පත් වෙති

Editor O

හිටපු ජනාධිපතිට එරෙහි නඩුවකින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ඉවත් වෙයි.

Editor O

ලාංකිකයන්ට ස්වයං නිරෝධායනයෙන් තොරව එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර

Mohamed Dilsad

Leave a Comment