දේශීය

ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – මෙරටින් බිහි වූ විශිෂ්ටතම පුරාවිද්‍යාඥයෙක් ලෙස සැලකෙන ආචාර්ය සිරාන් දැරණියගල අද අභාවප්‍රාප්ත වුණා.

ආචාර්ය සිරාන් දැරණියගල සැලකෙන්නේ මෙරට ප්‍රාග් මානව ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කළ මහා ප්‍රාඥයා ලෙසයි.

1942 වසරේ රත්නපුර දී උපත ලැබූ සිරාන් උපේන්ද්‍ර දැරණියගල ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබුවා.

කේම්බ්‍රිජ් ට්‍රිනිටි විද්‍යාලයෙන් පුරාවිද්‍යාව හා සංස්කෘත භාෂා මූලික හා ශාස්ත්‍රපති උපාධි ලැබූ ඔහු 1968 වසරේ දී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය ගවේෂණය හා සංරක්ෂණය වෙනුවෙන් ආචාර්‍ය දැරණියගල සිදු කළ සේවය අති මහත්.

අවුරුදු 130,000කට පෙර මෙරට වාසය කළ ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ කරුණු හෙළි කරගත් බූන්දල පතිරාජවෙල ආශ්‍රිත පුරාවිද්‍යාත්මක පර්යේෂණය සිරාන් දැරණියගලගේ වෘත්තිය ජිවිතයේ විශිෂ්ටතම පර්යේෂණය ලෙස සැලකෙනවා.

එම පර්යේෂණය වෙනුවෙන් සිරාන් දැරණියගල හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධිය ලබා ගත්තා.

අදාළ පර්යේෂණ පදනම් කරගනිමින් එතුමා විසින් රචිත වෙලුම් තුනකින් යුත් The Pre – History of Sri Lanka කෘතිය මෙරට පුරාවිද්‍යාඥයන් වර්තමානයේ සිය අත්පොත ලෙස ද භාවිත කරනවා.

ඔහු කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, පාහියන්ගල වැනි ස්ථානවල කළ කැණීම් මගින් දකුණු ආසියාවේ පැරණිතම නූතන මානව සාධක ශ්‍රී ලංකාව සතු බව ලෝකයට රැගෙන යෑමේ පුරෝගාමී මෙහෙවරක් සිදුකළා.

අනුරාධපුර ඇතුළු නුවර කැනීම් මගින් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා පූර්ව ඓතිහාසික යුගය පසුකරමින් ඓතිහාසික යුගය දක්වා පැමිණෙන බවට සාධක ඉදිරිපත් කළේද ආචාර්‍ය සිරාන් දැරණියගලයි.

Related posts

රවීගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න අභියාචනාධිකරණය දින ලබාදෙයි

Mohamed Dilsad

සහල් සඟවාගෙන සිටින වී මෝල්හිමියන් සොයා වැටලීම් අරඹයි

Mohamed Dilsad

සඳුදා සිට කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් අවලංගු වෙයි – අවලංගු වන දුම්රිය මෙන්න

Mohamed Dilsad

Leave a Comment