දේශීය

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද විශේෂ හමුවක්

(UTV | කොළඹ) – කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් රජය නියෝජනය කරන වාමාංශික පක්ෂවල නායකයන්ගේ විශේෂ හමුවක් අද (30) පැවැත්වීමට නියමිතය.

ලබන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳ දැඩි තීන්දුවක් ගැනීම කෙරෙහි එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම තීරණාත්මක සාකච්ඡාව අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී පැවැත්වෙනු ඇති.

පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, එක්සත් මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් යන මහත්වරුන්ද ඊට සහභාගීවීමට නියමිතය.

කෙසේවෙතත් , ආයෝජකයෙක් ඉදිරිපත්ව සිටියද කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් රජය මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එවැනි තත්ත්වයක් තුළ විපක්ෂය විසින් සිදුකරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

Related posts

මන්ත්‍රී නිවාස සංකීර්ණයට හමුදාවත් දායි

Mohamed Dilsad

සෞඛ්‍ය සේවකයින් අද සිට සංකේත වැඩවර්ජනයක

Mohamed Dilsad

සභානායක බිමල් ට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරු කතානායකගෙන් ඉල්ලයි.

Editor O

Leave a Comment