දේශීය

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පාසැල් දරුවන් පිළිබඳ අනාවරණයක්

(UTV |කොළඹ) – මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන පාසල් දරුවන්ගෙන්  වැඩි පිරිසක්  මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත් වන බව  අන්තරායකර ඖෂධපාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසයි.

ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොව යළි මත්ද්‍රව්‍ය වෙත යොමු නොවන පරිදි පුනරුත්තාපනය කළ යුතුව ඇතැයි සභාපතිවරයා පැවසීය.

ඔහු ඊයේ (27) මහනුවර පොල්ගොල්ලේදී පැවැති අධ්‍යාපන අංශය සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

අන්තරායකර ඖෂධපාලක ජාතික මණ්ඩලයේ  නිට්ටඹුව නව දිගන්තය ප්‍රතිකාර සහ පුනරුත්පව මධ්‍යස්ථානය තුළ මේ වන විට පාසල් දරුවන් දහසක් පුනරුත්පනය කිරීමේ පහසුකම් සහිත බවත් එවැනි දරුවන් හාරදහසක් (4000) පුනරුත්තාපනය කොට යළි සමාජ ගත කිරීම සඳහා පහසුකම් සහිත ස්ථාන දිවයින පුරා කඩිනමින් ස්ථාපිත කරන බවත් විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,”ජනාධිපතිවරයා ප්‍රධාන ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතයෙන් රට මුදා ගත්තේ විශිෂ්ඨ අයුරින්. නමුත් මත්ද්‍රව්‍ය උවදුරින් රට මුදා ගැනීම ඔවුන්ට දිගු කාලීනව කරන්න බැහැ.යුද්ධය පවතින වකවානුවේදී  මරණයට පත්වන සෙබළුන්  ප්‍රමාණය  මාධ්‍ය තුළින්  දිනපතා ප්‍රකාශ කරන අයුරින්ම දිනපතා අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය ප්‍රමාණය අද වන විට මාධ්‍ය තුළින් ප්‍රකාශ කරනවා”.

“පසුගිය මාස හයක කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාවලිය හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ප්‍රමාණය 52000 ක්. හෙරොයින් නිසා අත්අඩංගුවට පත්වීම් විසිහතර දහසක් ද ගංජා හේතුවෙන් අත් අඩංගුවට පත් වීම් විසිහය දහසක් ද ඒ අතර වෙනවා”.
“මේ අතර වැඩි වශයෙන් ඉන්නේ වයස අවුරුදු තිහට වඩා අඩු වයසේ පසුවන පිරිසක්. ඒ අතරින් තවත් සියයට විස්සක් පමණ සිටින්නේ පාසල් වයසේ පසුවන දරුවන්. එමෙන්ම කණගාටුදායක පුවත වන්නේ එම අත්අඩංගුවට පත් වීම් වලින් දෙවැනියට වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ මධ්‍යම පළාත තුළින් වීමයි”.
“මෙම තත්වය යටතේ පාසල් දරුවන්  අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සුදුසු වන්නේ නැහැ. ඔවුන් බන්ධනාගාර ගත කළොත් එහිදී ලබන අත්දැකීම් මත ඔවුන්  මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත්වෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්වූ දරුවන් යහපත් පවුල් පසුබිමක් සහිත අධ්‍යාපනයෙන් පවා විශිෂ්ඨ කුලසතා දක්වන පිරිසක් වීමත් දැකිය හැකියි”.
“ආරක්ෂක අංශ වලට පමණක් මත්ද්‍රව්‍ය පාලනය තනිව කරන්න බැහැ. මත්ද්‍රව්‍ය සම්බන්ධව පණිවිඩය අධ්‍යාපනය තුළින් දරුවාට කා වැද්දීම සිදුකළ යුතුයි.මොළය සහ හදවත එකට වැඩ කරන සෘජු නායකත්ව සහිත දරු පිරිසක්  රටට බිහි කළ යුතුයි. මත්ද්‍රව්‍ය  සැපයුම අඩාල කිරීමෙන් පමණක් එය සිදුකරන්න බැහැ. ඊට පවතින ඉල්ලුම ද අඩාල කළ යුතුයි”.
“ආරක්ෂක අංශය විසින් සැපයීම අඩාල කිරීම මේ වන විට ඉතාමත්ම කාර්යක්ෂමව සිදු කරනවා. නමුත් ඉල්ලුම අඩාල කිරීම ඔවුන්ට කරන්න බැහැ. ඒ නිසා එම වගකීම රටේ පරිපාලනයට, අධ්‍යාපන අංශයට සහ සමස්ත මහජනයාට පැවරෙනවා”.
“හෙරොයින්, හෂීස් වැනි ද්‍රව්‍ය පමණක් නොව අද වන විට ගංජා මෙතම්පිටමින් නොහොත් අයිස් යන මත්ද්‍රව්‍ය හිස ඔසවමින් සිටිනවා.  ඉකුත් මාස හය තුළ කරන ලද වැටලීම් වලින් හෙරොයින්  කිලෝග්‍රෑම් 1800ක් පමණ අත්අඩංගුවට ගන්නා විට අයිස් නම් මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් 1500ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා”.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

Mohamed Dilsad

ප්‍රථම වරට මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

Mohamed Dilsad

සංචාරකයන්ට හඳුන්වාදෙන Taxi App එක

Mohamed Dilsad

Leave a Comment