Trending Newsඑසැන පුවත්දේශීය

ලංවීම වෘත්තීය සමිති දැවැන්ත වර්ජනයකට සූදානම් වෙයි….!!!

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ මුවාවෙන් සේවක අයිතිවාසිකම් කප්පාදු කරන්නේ නම්, ඊට එරෙහිව දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවයි.

රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කර ඒ වෙනුවට අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීමට අදාළ මූලික සැලසුම් දැනටමත් සකස් කර අවසන් කර ඇත. 

මීට අදාළ වත්කම්, වගකීම් සහ රාජකාරි පැවරීමේ ක්‍රියාවලිය නීතිපති සහ මහා භාණ්ඩාගාරයේ උපදෙස් මත සිදු කිරීමට නියමිත අතර, විෂයභාර අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් මණ්ඩලය අහෝසි කරන දිනය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වේ.

කෙසේ වෙතත්, 2024 අංක 36 දරන විදුලිබල පනත ක්‍රියාත්මක කිරීමට පෙර සපුරාලිය යුතු කොන්දේසි 100ක් පමණ පවතින බවත්, ඒවා සම්පූර්ණ නොකර මණ්ඩලය අහෝසි කිරීමට යාම බරපතල ගැටලුවක් බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි.

 මේ සඳහා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය සහ කාර්මික ශිල්පීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 24ක් එක්ව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත.

සේවකයන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගවලට අනුව සාමූහික ගිවිසුමකට එළඹෙන ලෙස සේවකයන් දිගින් දිගටම ඉල්ලා ඇතත්, රජය මෙතෙක් ලබා දී ඇත්තේ අඩුපාඩු සහිත කෙටුම්පතක් පමණක් බව සේවක සංගම් නියෝජිතයෝ පවසති.

මීට දින 10කට පෙර කරුණු අටකින් යුත් ලිඛිත ලියවිල්ලක් විදුලිබල අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ ද, ඒ සඳහා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.

මණ්ඩලය අහෝසි කිරීමේ ගැසට් පත්‍රයට අත්සන් තැබීමට නියමිත දිනට පෙර දිනම, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සේවකයන් වැඩ වර්ජනයකට යන බවට රජයට අනතුරු අඟවා ඇත. බොහෝ දුරට පෙබරවාරි පළමුවැනිදා වන විට මෙම අහෝසි කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වනු ඇතැයි වෘත්තීය සමිති සැක පළ කරයි.

මෙම ප්‍රතිව්‍යුහගතකරණය පිටුපස ව්‍යාපාරික උවමනාවන් ඇති බවත්, බලශක්ති ක්ෂේත්‍රය “කොළේ වහලා ගහන” ක්‍රීඩාවක නිරත වෙමින් රජයේ ඉහළ පෙළේ නිලධාරීන් නොමඟ යවා ඇති බවත් ඔවුහු චෝදනා කරති.

මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අසාර්ථක වුවහොත් ජාතියෙන් සමාව ගැනීමට හෝ වගකීම භාර ගැනීමට කිසිදු නිලධාරියෙකු ඉදිරිපත් නොවන බව වෘත්තීය සමිති වැඩිදුරටත් අවධාරණය කරයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට කටයුතු කරන රජය, විදුලිබල ක්ෂේත්‍රය විනාශ වුවහොත් ඒ පිළිබඳව වගකීම භාර ගන්නේ කවුදැයි සේවක සංගම් ප්‍රශ්න කර සිටියි.,

වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ මණ්ඩලය අහෝසි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම වහාම ප්‍රමාද කර, අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කොට සේවක අයිතිවාසිකම් තහවුරු කරන ලෙසයි

Related posts

பாதிக்கப்பட்ட மக்களுக்கு சீனா நன்கொடை

Mohamed Dilsad

නිදහස් චතුරස්‍රය අවට අද සිට විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

Prime Minister expounds on positives of National Government

Mohamed Dilsad

Leave a Comment