වව්නියාව නගර සභාවේ සභාපති ලෙස සුන්දරලිංගම් කාන්දීපන් සහ උප සභාපති ලෙස පරමේශරන් කාර්තිපන් යන අය එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (21) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
වව්නියාව නගර සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු වන කන්දයියා විජය කුමාර් සහ සිවසුභ්‍රමණියම් ප්‍රේමදාස් යන අය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුනි.
මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නියෝගයේ දැක්වෙයි.
ඉන් අනතුරුව පෙත්සම යළි නොවැම්බර් මස 19 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කර ඇත.
නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකළ මෙම පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ වව්නියාව සභාපති ජන්ද 11ක් ලබාගෙන සභාපති වශයෙන් තේරී පත්වූ අතර ඔහු හා තරග වැදුණු අනෙක් සභිකයා ඡන්ද 10 ලබාගෙන තිබූ බවය.
උප සභාපති ධුරයට පත්වූ තැනැත්තා ලබාගත් ඡන්ද ගණන 11ක් වන අතර ඔහු හා තරග වැදුණු අනෙක් සභිකයා ඡන්ද 10ක් ලබාගත් බවද එහි සඳහන් ය.
නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ සභිකයා නගර සභා බලප්‍රදේශයෙන් පිටත පදිංචි අයෙකු බව පෙත්සමෙන් චෝදනා කර තිබේ.
නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් තේරී පත්වු පුද්ගලයින්ට එම තනතුරු දැරීම සඳහා ප්‍රමාණවත් ඡන්ද නොලැබී ඇති බවද පෙත්සම්කරුවන් සඳහන් කරයි.
ඒ අනුව ඔවුන්ට එම තනතුරු දැරීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බව පෙත්සම තුළින් චෝදනා කර තිබේ.
ඒ අනුව ඔවුන් එම ධුරවල කටයුතු කිරීම නීතියට පටහැනි බවත් එම ධුර බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටී.
