Trending Newsඑසැන පුවත්දේශීය

ශවේන්ද්‍ර ඇතුළු 4කට, බ්‍රිතාන්‍ය පැනවූ සම්බාධක ගැන ආණ්ඩුවේ ස්ථාවරය අද හවසට

මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) පස්වරුවේ දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අදාළ ස්ථාවරය දැනුම්දෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙරට යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ලකරමින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට සම්බාධක පනවන බව එක්සත් රාජධානිය පෙරේදා (24) නිවේදනය කළේය.

ඒ අනුව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ කලක් LTTE සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන සිව්දෙනාට මෙලෙස සම්බාධක පැනවෙයි.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ත්‍රස්තවාදයට එරෙහි මානුෂිය මෙහෙයුමේදී දැවැන්ත කාර්යයක් ඉටුකරමින් 58 වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස ක්‍රියා කළේය.

පසුව යුද හමුදාපති ධුරයට මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයටද පත්වූ ඔහු කොවිඩ් වසංගතය පාලනය කිරීමේ ක්‍රියාවලියේ කැපීපේන කාර්යභාරයක් ඉටු කළ අයෙකි.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා උතුරේ යුද්ධය නිමා කිරීමේ කාර්යභාරයේදී එවක නාවික හමුදාපතිවරයා ලෙස දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය.

2009 එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති සටනේ අවසන් අදියරේදී වන්නි ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළ ජෙනරාල් ජගත් ජයසූරිය මහතා එවක හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විශ්‍රාම යාමෙන් පසු යුද හමුදාපති ධුරයට පත්වුණි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යුද සමයේදී ඉන් ඉවත්වූ අතර පසුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරමින් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළේය.

පැනවුණු නව සම්බාධක අනුව ඔවුන් සිව්දෙනාට එක්සත් රාජධානියේ සංචාරය කිරීම තහනම් වන අතර එක්සත් රාජධානිය තුළ ඔවුන්ට වත්කම් ඇත්නම් ඒවාද තහනම් වෙයි.

Related posts

වාද්දුවේ සාදයක් වටලා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 12ක් අත්අඩංගුවට

Mohamed Dilsad

சுங்க அதிகாரிகள் தொழிற்சங்க போராட்டத்தில்…

Mohamed Dilsad

Seven Sri Lankan fishermen detained by ICG

Mohamed Dilsad

Leave a Comment