දේශීය

රජයේ ගබඩාවලින් වී අතුරුදන්වූ අයුරු සෙවූ වාර්තාව ඇමති අතට

රජයට අයත් වී ගබඩා 04 කින් වී කිලෝග්‍රෑම් 971,050ක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනයේ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත බාරදී තිබේ.

 

අද (07) දින පෙරවරුවේ අදාළ විමර්ශන වාර්තාව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාරදී ඇත.

 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, ආණමඩුව, නිකවැරටිය හා මහව වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 04ක වී ‌තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙලෙස තොරතුරු වාර්තා වී තිබුණි.

 

මෙම සිදුවීම 2021-22 වර්ෂවලදී සිදුවී ඇති අතර ඒ සම්බන්ධව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දී තිබුණි.

 

ඒ අනුව පසුගිය කාලය තුළ සිදුකළ විමර්ශනය තුළින් එකී ගබඩා 04හි වී කිලෝග්‍රෑම් 971,050 අතුරුදන් වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

 

මෙම වී තොගයෙහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 100කට ආසන්න වෙයි.

 

මෙම වංචාවට චෝදනා ලැබූ නිලධාරින් 05 දෙනෙකුගේ වැඩතහනම් කිරීමට මේ වනවිට පියවරගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (07) පැවසීය.

 

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන 03ක් දැනට සිදුකරන අතර අභ්‍යන්තර විගණන විමර්ශනයක්, මූලික විමර්ශනයක් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

 

මෙම අපරාධයට සම්බන්ධවී ඇත්තේ වැඩතහනමට ලක්වී සිටින නිලධාරීන් පමණක්ද හා තවත් පුද්ගලයින් හෝ පුද්ගල ජාලයක් ඊට සම්බන්ධවී ඇත්දැයි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

 

වී අලෙවි මණ්ඩලය සතු වී තොග දිවයිනේ අනෙකුත් ගබඩාවලත් මේ අයුරින්ම වංචා සහගත ලෙස අවභාවිත කර ඇත්ද යන්න සම්බන්ධව සොයා බලන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට තවදුරටත්උපදෙස් දී තිබේ.

 

Related posts

හිජාස් හිස්බුල්ලා ලබන 18 දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

නව ලංකා නිදහස් පක්ෂයේ සහය සමගි ජනබලවේගයට

Mohamed Dilsad

COVID – 19 අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 871 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment