දේශීය

විදුලි කප්පාදුව ගැන විදුලිබල මණ්ඩලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

භෙට දින දක්වා විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

 

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන් එකඟතාව කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනුකළ නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම ප්‍රතිඥාව ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

 

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවා තිබුණි.

 

එහිදී මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයින් උපදෙස් ලබා ගැනීම සඳහා කාලය අවශ්‍ය බැවින් පෙත්සම හෙට දින කැඳවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා තිබේ.

 

කෙසේවෙතත් එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පෙන්වා දී ඇත්තේ මෙය හදිසි කටයුත්තක් බැවින් කල් දැමීම සුදුසු නොවන බවය.

 

ඒ අනුව වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ නීතිඥවරුන්ට කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම අද දිනයේ යළි කැඳවන බව නියෝග කර තිබේ.

 

පෙත්සම යළි කැඳවූ අවස්ථාවේ විදුලි බල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ පෙත්සම හෙට දින සළකා බලන තෙක් විදුලි කප්පාදුවක් සිදුනොකරන බවය.

 

මේ අතර විභාග කාලසීමාවේ විදුලි කප්පාදුව නතර කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා අද පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

Related posts

ළමා හිංසනය සම්බන්ධ වූ 5 අවුරුදු සැලැස්ම හෙටින් ඇරඹේ

Mohamed Dilsad

මල්ලිගේ පහරදීමෙන් අයියා මරුට

Mohamed Dilsad

ඇඳිරි නීති බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment