දේශීය

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අද ජනතා අයිතියට

(UTV | කොළඹ) – මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ලෙස මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අද ජනතා අයිතියට පත් කෙරෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 04 ට එම උත්සවය ආරම්භ වනු ඇති.

මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මෙම කොටසේ මුලු දුර කිලෝමීටර් 40.91 ක්.

මං තීරු 04 ක් යටතේ ඉදිකළ මෙම මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ග කොටස ඉදිකර තිබීම විශේෂත්වයක්.

මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල මුදල් ගෙවීමේ කවුලු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05 ක් ඉදිකර තිබෙනවා.

මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 137 ක්.

2014 වසරේ නොවැම්බර් මාසයේ දී එවක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා විසින් නව අධිවේගී මාර්ගයක් සඳහා කුරුණෑගල, ගලගෙදර, රඹුක්කන සහ ගලේවෙල යන ප්‍රදේශවල මුල්ගල තබනු ලැබුවා.

එහි ඉදි කිරීම් ආරම්භ කෙරුණේ 2017 වසරේ දීයි.

මෙහි පළමු අදියර ලෙස කඩවත සිට මීරිගම දක්වා කි.මී. 37.09 ක්, දෙවන අදියර ලෙස මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මී. 40.91 ක්, 03 වන අදියර ලෙස පොතුහැර සිට ගලගෙදර දක්වා කි.මී. 32.5 ක් සහ සිව්වන අදියර ලෙස කුරුණෑගල සිට දඹුල්ල දක්වා කි.මී. 58.5 ක ඉදිකිරීම් ක්‍රියාත්මකයි.

කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර 37.9 ක් වූ පළමු අදියරේ ඉදිකිරීම් මේ වන විට කඩිනමින් සිදුකෙරෙමින් පවතිනවා.

ගම්පහ, වේයන්ගොඩ සහ මීරිගම යන අන්තර් හුවමාරු 03 කින් සමන්විත එම අදියරේ ඉදිකිරීම් 2024 සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට අපේක්ෂිතයි.

Related posts

මලික් සමරවික්‍රම ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

බහරේන් සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment