දේශීය

කොරෝනා වැළඳුණු ඉන්දියානුවෙකු කටාර් සිට ලංකාවට එවයි

(UTV | කොළඹ ) – අද (19) අලුයම කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හඳුනා ගත් ඉන්දීය ජාතික නාවිකයෙකු කටාර් රාජ්‍යයේ දෝහා සිට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත එවා තිබේ.

එම පුද්ගලයා ඇතුළු 69 දෙනෙකු 17 වන දා සවස ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

එම ගුවන් මගීන් අතරින් 54 දෙනෙකු , කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය සඳහා යොමු කළ අතර, ඉතිරි 15 දෙනා කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව ගොස් තිබේ.

එසේ පිටත්ව ගිය 15 දෙනා අතර මෙම ගුවන් මගියා ද සිට ඇති අතර ඔහුට දෝහා ගුවන්තොටුපළේ දී කළ පරීක්ෂණයක දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග, ඔහු පැමිණි ගුවන් යානයෙන්ම, ඔහු කටුනායක ගුවන්තොටුපළ වෙත ආපසු හරවා එවා තිබුණි.

ඒ අනුව මෙම ගුවන් මගියා අද අලුයම 1.35 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය.

ජාත්‍යන්තර ගුවන් ගමන් නීතිය අනුව මෙවැනි ප්‍රශ්නගත ගුවන් මගීන්, ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඔහු පැමිණි ගුවන් තොටුපළ වෙත හරවා යැවීම සිදු කෙරේ .

එහෙත් ඔහු ආපසු ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යැවීමට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයක් එම අවස්ථාවේ නොතිබීම නිසා, එම ගුවන් මගියා ශ්‍රී ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩී.එච්.රෝහල වෙත විශේෂ ගිලන් රථයක් මගින් යොමු කළ බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය.

Related posts

අපි විපක්ෂයේ සිටියදී බොරු කිව්වේ නෑ – වසන්ත සමරසිංහ

Editor O

ඉන්දියාවෙන් ඖෂධ ටොන් 10 ක් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට ජනපතිගෙන් සැලසුම්

Mohamed Dilsad

Leave a Comment