දේශීය

වසර 40 කට පසු උසස් නිලතල පිළිබඳ වාර්තාවක්

(UTV | කොළඹ) – අටවැනි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී රැස්වීම් 54ක් පවත්වා පුද්ගලයන් 290 දෙනෙක් විමර්ශනයට භාජනය කර ඇති බව එම කාරක සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා අද(20) පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

උසස් නිලතල පිළිබඳ කාරක සභාවක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනුයේ වසර 40 ක කාලසීමාවකට පසුවය.

මෙම වාර්තාව ඉදිරිපත් කරමින් කථානායක කරු ජයසූරිය මහතා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ වාර්තාව, පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳව අටවන පාර්ලිමේන්තුවේ කථානයාකවරයා මෙන්ම කාරක සභාවේ සභාපතිවරයා ලෙසද මම සතුටට පත්වෙමි. 

අටවැනි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්, නාම යෝජනා ඉදිරිපත්වූ සියළුම පුද්ගලයන් කැඳවා විමර්ශනයට භාජනය කර ඇති බව ද පාර්ලිමේන්තුවට දන්වා සිටිනුයේ ඉමහත් සතුටින්.

රජයේ අමාත්‍යාංශයක ලේකම් වරුන්ද, රජයේ සෑම සංස්ථාවක, මණ්ඩලයක හෝ වෙනත් සමාන ආයතනවල සභාපතිවරුන්ද තනතුරට පත්කරනු ලැබූ වහාම කාරක සභාව ඉදිරියට කැඳවා එකී තනතුර සඳහා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට කාරක සභාව පෙර සිටම පියවර ගෙන තිබිණි.

ශ්‍රී ලංකා විදේශීය දූත මණ්ඩලයක ප්‍රධානී ලෙස පත්කිරීමට නම්කරනු ලබන සියළු තැනැත්තන් එකී තනතුර භාරගැනීම සඳහා විදේශගතවීමට ප්‍රථමයෙන් කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙසට ද කාරක සභාව විසින් කැඳවනු ලැබේ.

එසේ විදේශ දූත මණ්ඩලයන්හි ප්‍රධානීන් වශයෙන් නම් කරනු ලබන තැනැත්තන්ගේ යෝග්‍යතාවය ඉතාමත් කෙටි කාලයක් තුළ, ආසන්න වශයෙන් දින 16ක් තුළ, පරීක්ෂා කර බලා වාර්තා කිරීමටද කාරක සභාවට හැකිවී ඇත.

තවද මෙම කාරක සභාව සඳහා වෙනම තොරතුරු පද්ධතියක් යොදාගැනිමටද අවධානය යොමුවූ අතර එම කටයුතු ඉදිරි කාලයේ තව දුරටත් වැඩිදියුණු වේයැයි මම අපේක්ෂා කරමි.

පසුගිය කාලයේ ඉතාමත් කාර්ය බහුලවුවද, පාර්ලිමේන්තුවේ කෙරෙන වෙනත් සියළු කටයුතු අතරවාරයේදී මෙම කාරක සභාවේ රැස්වීම්වලට පැමිණ සහභාගී වූ, එමෙන්ම කාරක සභාවේ කටයුතුවලට නොමසුරු දායකත්වයක් දැක්වූ සියළුම ගරු මන්ත්‍රීවරුනට ද කාරක සභාවේ කටයුතුවලදී සෑම අයුරකින්ම කැපවී කටයුතු කළ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයට ද මාගේ හෘදයංගම ස්තුතිය පිළිගැන්වීමට මම කැමැත්තෙමි.

Related posts

දිස්ත්‍රික් 05ක තවත් ප්‍රදේශ 09 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරේ

Mohamed Dilsad

තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට‍

Mohamed Dilsad

අදත් දුම්රිය ධාවනයට සීමා

Mohamed Dilsad

Leave a Comment