ප්‍රමුඛ පුවත 1

“රජරට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමග දරුවන්ට හොඳ අධ්‍යාපනයක්” ජනපති කියයි

(උදයම්,කොළඹ) – රජරට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමග ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ද ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පැවසීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රැසක නව ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම  ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ඊයේ (21) එක් වූ ජනාධිපතිතුමා අත්තනකඩවල මහා විද්‍යාලයේ සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය හා ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ උත්සවය අමතමින් මේ බව ප‍්‍රකාශ කළේය.
රජරට ජනතාව ජලය ඉල්ලා හැඬූ වසර 60 ක කදුළු කථාව නිමා කරමින් ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා ලංකාවේ විශාලත ම ජලාශය වූ මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතියේ කටයුතු වත්මන් රජය ක්‍රියාත්මක කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එම ව්‍යාපෘතියත් සමග අද රජරට ජනතාවගේ සිහින මල් ඵල ගැන්වෙමින් තිබෙන බව ද කියා සිටියේය.
ඉදිරි මහ කන්නයෙන් අනතුරුව යළිත් ජල ගැටලුවක් පිළිබඳ කථා කිරීමට එම ජනතාවට සිදු නොවනු ඇති බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
අද විශාල ගැටලුවක් බවට පත්ව ඇති කැළි කසළ ගැටලුව පිළිබඳ ව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ කැළි කසළ  කළමනාකරණය සහ වර්ගීකරණය පිළිබඳ පාසල් මට්ටමින් දරුවන් දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවයි.
සෑම දරුවෙකුට ම හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම රජය හඳුනාගෙන තිබෙන අතර රටේ කෘෂිකර්මාන්තය දියුණු කරමින් ආර්ථික සමෘද්ධිය ළඟා කර ගැනීමට උගත් පිරිසක් රට තුළ බිහිවිය යුතු බව ජනාධිපතිතුමා එහිදී කියා සිටියේය.
විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ ප‍්‍රදානය කිරීම මෙන්ම ආදි ශිෂ්‍යයින් ඇගයීම යටතේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, පරිපාලන නිලධාරී තිස්ස දයාරත්න, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොහිණි සමරසිංහ යන මහත්ම මහත්මීන් වෙත සිහිවටන තිළිණ පිළිගැන්වීම  ජනාධිපතිතුමා අතින් සිදු විය.
බකමූණ, දියබෙදුම, නාමල්වැව ප‍්‍රාථමික විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

Related posts

පැපිලියානේදී කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නව ජනාධිපති ලේකම්වරක් පත් කෙරේ

Mohamed Dilsad

අගමැති මෝදි දිවයිනට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment