Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමෙන් මහජන දේපළ අවභාවිතා කළ බවට හිටපු ජනාධිපති රනිල්ට චෝදනාවක්..!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා ඊයේ (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ නඩුකරය‍ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මෙම දැනුම් දීම සිදු කළේය.

මේ අතර මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මහෙස්ත්‍රාත් නියෝග කළේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට පැමිණ සිටිනවා දැයි ප්‍රශ්න කළේය.

ඒ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සදහන් කළේ සැකකාර වික්‍රමසිංහ මහතා විත්ති කූඩුවේ වාඩි වී සිටින බවය.

එහිදී අධිකරණය ඇමතූ දිලීප පිරිස් මහතා “සැකකරුවෙකු එහෙම වාඩිවෙන්නේ කොහොමද? ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා ගත යුතුයි” යනුවෙන් සඳහන් කළේය.

මෙහිදී එම ප්‍රකාශයට විත්තියේ නීතිඥවරු විරෝධය පළකර තිබේ.

එම අවස්ථාවේදී මහෙස්ත්‍රාත් සදහන් කළේ “පැමිණිල්ල ඉදිරිපත් කරන ස්ථාවරය මම පිළිගන්නවා. අධිකරණයේ අසුන් ගැනීමේදී නිසි ක්‍රමවේදයක් තියෙනවා. එය අනුවයි කටයුතු කළ හැක්කේ.” යනුවෙන් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් “ස්වාමීනි…මේ සැකකරුට ඇප ඉල්ලා සිටි අවස්ථාවේ දී සැකකරුගේ නීතිඥවරු සදහන් කර තිබුණා රනිල් වික්‍රමසිංහ මහතාගේ හදවතේ ධමනි අවහිර වීම නිසා ලේ ගමන් කරන්නේ වංගුවකින් බවට . ඒක හරි. ඔහුගේ සියලුම වැඩවල තිබෙන්නේ වංගු තමයි. මොකද මොහු අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළාට පසුව කෙලින්ම ඇතුළත් වෙන්නේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට. දැඩි සත්කාර ඒකකයේ සිය සහචරයින් සමග කාලය ගත කරමින් ඔහු බොරිස් ජොන්සන් ගේ පොත කියෙව්වා. පසුව අධිකරණය විසින් ඉල්ලීමක් කර නොතිබිය දී ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ පිටපත් පැමිණිල්ලට ලැබුණේ නෑ. මේ සැකකරු යන්න ඔන්න මෙන්න කියලයි නීතිඥවරු කිවේ. එහෙම කියලයි ඇප ගත්තේ. ” මේ ක්‍රියාව තුළින් මේ සැකකරු දැඩි සත්කාර ඒකකයේ අනීතික ලෙස රැඳී සිටිමින් මහජන දේපළ අවභාවිතාවට ලක් කර තිබෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් ..

“මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පලපුරුදු නිලධාරීන් කණ්ඩායමක් ලන්ඩන් නුවරට ගොස් එහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ යටතේ ඔවුන් එවක එංගලන්තයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කළ සරෝජා සිරිසේන ඇතුළු 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා. ඒ සියලු ප්‍රකාශ වලින් තහවුරු වී ඇත්තේ මේ සංචාරය පුද්ගලික සංචාරයක් බව.”

එම අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා, දිලීප පිරිස් අමතමින් “ඔබ විසින් ඉදිරිපත් කළ වාර්තාවේ නිගමන 26 ක් ඇතුළත් වෙනවා. ඒ සියලු කරුණුවලින් සඳහන් වන්නේ මේක පෞද්ගලික සංචාරයක් බව. සැකකරුගේ මේ සංචාරය තුළ සුළු හෝ නිල කටයුත්තක් කර තිබුණාද?” යනුවෙන් ප්‍රශ්න කළේය.

ඊට ප්‍රතිචාර දක්වූ දිලිප පිරිස්

“මේක නිල සංචාරයක් වෙන්න නම් බ්‍රිතාන්‍ය රාජ්‍යයේ මැදිහත් විමක් තිබිය යුතුයි. නිල ආරාධනාවක් තිබිය යුතුයි. මේ සැකකරුට වුල්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය සඳහා පැමිණෙන ලෙස ආරාධනා කරමින් ලිපියක් එවා තිබූ බව විත්තිය විසින් ප්‍රකාශ කර තිබුණා. නමුත් තානාපති කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ ලබා දී කියා තිබෙනවා එවැනි ලිපියක් තමන්ට නොලැබුණු බව.ඒ අනුව තමයි මේක පුද්ගලික සංචාරයක් බවට කරුණු අනාවරණය කරගෙන තිබෙන්නේ. මේ විශ්වවිද්‍යාලය පෞද්ගලික විශ්වවිද්‍යාලයක්” යනුවෙන් ඔහු සඳහන් කළේය.

සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු සියයට අනූවක් පමණ මේ විට අවසන් කර ඇති බවත් මාසයකින් පමණ විමර්ශන කටයුතු අවසන් කර නඩු පැවරීමට කටයුතු කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් වැඩිදුරටත් පැවසීය.

මෙම නඩුව මහාධිකරණයේ නොව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ ගොනු කිරීම සම්බන්ධයෙන් තමා නීතිපතිවරයාට යෝජනා කර තිබෙන බවත් මෙහිදී දිලිප පිරිස් සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කරුණු දක්වමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පැවරීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ නීතිපතිවරයා බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයාට එම තීරණයක් ගත නොහැකි බවත් පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් දිලීප පිරිස් පැවසුවේ තමා අද දින අධිකරණය හමුවේ ඉදිරිපත් කරන්නේ නීතිපතිවරයාගේ මතය බවය.

ඊට ප්‍රතිචාර දක්වූ මහෙස්ත්‍රාත් කියා සිටියේ අතිරේක සොලිසියට ජනරාල් වරයා ඉදිරිපත් කරන කරුණු නීතිපතිවරයාගේ මතය වශයෙන් තම අධිකරණයද පිළිගන්නා බවය.

ඉන් අනතුරුව සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කරුණු ඉදිරිපත් කළා.

“ස්වාමීනි… පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු වලින් සියයට අනූවක් පමණ මගේ සේවා දායකයාට අදාළ නෑ. මේ සැකකරු විසින් ඔහුට ලැබුණු ආරාධනාව ඇතුළත් ලිපිය ව්‍යාජ ලිපියක් කියලා පැමිණිල්ල කලින් සඳහන් කර තිබුණා. ඒ ලිපිය ව්‍යාජ ද නැද්ද කියලා බලාගන්න නම් අදාළ විශ්වවිද්‍යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශයක් ගත යුතුයි. එවැනි ප්‍රකාශයක් ලබා ගැනීමකින් තොරව එහි සත්‍ය අසත්‍යභාවය ප්‍රකාශ කරන්න බෑ. නමුත් පැමිණිල්ල ඒක කරන්නේ නෑ. මොකද විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් ප්‍රකාශ ගත්තොත් පැහැදිලිව හෙළි වෙනවා මේක සත්‍ය ලියවිලක් බව.. තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගත් පමණින් මේ ලියවිල්ලේ සත්‍යා සත්‍යභාවය සොයා ගන්න බැහැ.” යනුවෙන් ජනාධිපති නීතිඥවරයාව පැවසීය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස්

“ස්වාමීනි…. මෙම නඩු කරයේ දෙවැනි සැකකරු හැටියට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නම් කර තිබෙනවා. මේ පුද්ගලයා නීතිය මගහැර සිටීමට දක්ෂ පළපුරුදු අපරාධකාරයෙක්. රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ සංචාරය පුද්ගලික සංචාරයක් වශයෙන් තමයි මුලින්ම ලිපිවල සඳහන් කලේ. පසුව මේ පුද්ගලයා තමයි එම ලිපිවල තිබෙන ප්‍රයිවට් කියන වචනය ඉවත් කර ඊට official කියන වචනය එකතු කළේ. මොහු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙක්. මොහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අවශ්‍යව තිබෙනවා.” ඒ නිසා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට  ප්‍රතිචාර දැක්වූ සැකකාර සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනි… මේ සැකකරු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙක් නෙමෙයි. ඔහු කිසිදු ආකාරයක රාජ්‍ය මුදල් අභාවිතාවක් කරලා නෑ. ඔහුට කිසිම ලාභයක් මේකෙන් ලැබිලත් නෑ.  ඔහු අධිකරණයට ඇවිත් ඉදිරිපත් වී තිබෙනවා.” ඒ නිසා ඔහු ඇපමත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා. 

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් “එක් කරුණක් හැර ඉදිරිපත් වී ඇති සියලු කරුණුවලින් බැලූ බැල්මටම මේ සැකකරු නිරත වී ඇති සංචාරය  පුද්ගලික සංචාරයක් බව පෙනී යනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත් වෙනවා. නමුත් මීට පෙර අධිකරණය කළ එක් නියෝගයක් තවම සම්පූර්ණ වෙලා නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු බව කියන ආරාධනා ලිපිය ගැන අදාළ විශ්වවිද්‍යාලයෙන් ප්‍රකාශ  ලබාගෙන නෑ. ඒ නිසා එම ප්‍රකාශ ඉක්මනින් ලබාගන්න. ඒ සඳහා බ්‍රිතාන්‍යයට යෑමට අවශ්‍ය නෑ. මාර්ගගත ක්‍රමයකින් එය කිරීමට හැකියාවක් තිබෙනවා.” යනුවෙන් සඳහන් කළ මහෙස්ත්‍රාත් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාට අප්‍රේල් මස 29 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය.

ඉන් අනතුරුව සැකකාර සමන් ඒකනායක මහතාගේ ඇප නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා “මෙම සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳව සලකා බැලීමේදී පොදු දේපළ පනත කෙරෙහි අධිකරණය අවධානය යොමු කරනවා. පොදු දේපළ පනත යටතේ ඇප ප්‍රධානය කිරීමට නම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් විය යුතුයි. මේ සැකකරු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානියා වශයෙන් සඳහන් කළ යුතුයි. එසේ නම් ඔහුට දැඩි වගකීමක් තිබෙනවා. නමුත් මේ නඩුකරයට අදාළ රුපියල් මිලියන 16කට වැඩි මුදල අනුමත කිරීමේදී ඔහු දැඩි අවධානයෙන් කටයුතු කර තිබෙන ආකාරයක් පෙනී යන්නේ නැහැ. ඔහුගේ ක්‍රියාව තුළ සුපිළිපන් භාවයක් හෝ පරීක්ෂාකාරී භාවයක් තිබී නෑ. සැකකර ජනාධිපති ලේකම්වරයා කියන කාරණය අමතක කර  සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් සැලකුවොත් මේ අධිකරණය කටයුතු කරන්නේ කෙසේද?  ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩි අවධානය යොමු වෙනවා.” යනුවෙන් පැවසීය.

වැඩිදුරටත්  කරුණු දැක්වූ මහෙස්ත්‍රාත්වරයා “සැකකාර සමන් ඒකනායක අධිකරණය මගහැර ගිය පුද්ගලයෙකු ලෙස පැමිණිල්ල පැවසුවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට එකඟ වීමට හැකියාවක් නෑ. මොකද ඔහු එක් අවස්ථාවකදී හැර  සැම අවස්ථාවක දීම අධිකරණයේ පෙනී  සිටියා. නමුත් ඔහුට ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන කරුණු අසාමාන්‍ය කරුණු වශයෙන් අධිකරණයට පිළිගන්න බැහැ.” ඒ අනුව ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර  සැකකරු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මහෙස්ත්‍රාත් සඳහන් කළේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පිරිස් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් බන්ධනාගාරය තුළදී මේ සැකකාර සමන් ඒකනායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස  ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත් හෙට දින සමන් ඒකනායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

මෙම නඩු විභාගය පැවැති අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් සහ විත්තියේ නීතිඥවරු අතර වරින් වර  උණුසුම් වචන හුවමාරු වූ අතර ඒවා මහෙස්ත්‍රාත් මැතිහත්වී  සමථයට පත් කරන ආකාරයක්ද දක්නට ලැබිණි.

අදදෙරණ

Related posts

Lankan couple with fake Malaysian passports held at Chennai Airport

Mohamed Dilsad

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

Mohamed Dilsad

மஹிந்த ராஜபக்ஷக்கு பாரத ரத்னா விருது?

Mohamed Dilsad

Leave a Comment