Trending Newsඑසැන පුවත්දේශීය

ව්‍යවස්ථාදායක සභාවට මාලිමාවේ ඉත්තෙක් දැමීමේ අගමැතිගේ උත්සාහයට විපක්ෂ නායකගෙන් දැඩි විරෝධය

ව්‍යවස්ථාදායක සභාව සඳහා සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනෙකු පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විපක්ෂය අතර පවතින සාකච්ඡා මේ සතියේදීත් එකඟතාවයකින් තොරව අවසන් වී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම පත්වීම් සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වය මීට ප්‍රධාන හේතුව වී ඇත.

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයන් ලෙස කටයුතු කළ වෛද්‍ය අනුලා විජේසුන්දර, වෛද්‍ය ප්‍රතාප් රාමානුජම් සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීන්ගේ ධූර කාලය පසුගිය සිකුරාදායින් අවසන් විය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, මෙම පුරප්පාඩු සඳහා නව නියෝජිතයන් පත් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ අන්‍යෝන්‍ය එකඟතාවය මත පමණි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති නවතම සාකච්ඡාවේදී දෙපාර්ශවය විසින්ම තම නිර්දේශිත නාමලේඛන ඉදිරිපත් කර තිබේ. අග්‍රාමාත්‍යවරිය නම් 07ක් ඉදිරිපත් කර ඇති අතර විපක්ෂ නායකවරයා නම් 10ක් ඉදිරිපත් කර ඇත. මීට හිටපු උපකුලපතිවරයෙකු, හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු සහ වෘත්තිකයන් කිහිපදෙනෙකු ඇතුළත් වේ.

විපක්ෂ නායකවරයා ඉදිරිපත් කළ නම් අතරින් දෙදෙනෙකු සඳහා එකඟ වීමට ආණ්ඩුව සූදානම් බවත්, ඒ වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කරන එක් අයෙකුට විපක්ෂයේ එකඟතාව හිමිවිය යුතු බවත් එහිදී ප්‍රකාශ වී ඇත.

අග්‍රාමාත්‍යවරිය විසින් හිටපු දිස්ත්‍රික් ලේකම්වරියකගේ නමක් යෝජනා කර ඇති අතර, විපක්ෂ නායකවරයා ඊට දැඩි විරෝධය පළ කර තිබේ. 

අදාළ තැනැත්තිය 2024 ඔක්තෝබර් මාසයේදී වත්මන් ආණ්ඩුව විසින් පත් කරන ලද කමිටුවක සාමාජිකාවක ලෙස කටයුතු කිරීම හේතුවෙන්, ඇය ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකාවක ලෙස අපක්ෂපාතීව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව විපක්ෂ නායකවරයාගේ තර්කය වී ඇත.

එසේම, මෙම සාකච්ඡා සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතාවද සහභාගී කරවා ගැනීමට අග්‍රාමාත්‍යවරිය කළ යෝජනාව විපක්ෂ නායකවරයා ප්‍රතික්ෂේප කර ඇත. 

ව්‍යවස්ථාවට අනුව මෙය අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතර පමණක් සිදුවිය යුතු එකඟතාවක් බව ඔහු පෙන්වා දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  ප්‍රකාරව, නව සාමාජිකයන් පත් කරන තෙක් දැනට සිටින සිවිල් නියෝජිතයන්ට සිය ධූරයන්හි තවදුරටත් කටයුතු කිරීමට නීතිමය අවකාශය පවතී. 

කෙසේ වෙතත්, දෙපාර්ශවයම තමන්ගේ ස්ථාවරයන්හි දැඩිව සිටීම හේතුවෙන් මෙම පත්වීම් ක්‍රියාවලිය තවදුරටත් ප්‍රහේලිකාවක් වී තිබේ.

Related posts

எரிபொருள் விலை திருத்தம் தொடர்பில் ஆராயும் குழு இன்று கூடுகிறது

Mohamed Dilsad

ஆகஸ்ட் 14-ம் திகதிக்கு முன்னர் பாகிஸ்தான் பிரதமராக இம்ரான் கான் பதவி ஏற்பு

Mohamed Dilsad

உலகின் மிகப் பெரிய பணக்காரர் விவாகரத்து இழப்பீடாக 35 பில்லியன் அமெரிக்க டாலர்கள் கொடுக்க ஒப்பு

Mohamed Dilsad

Leave a Comment