මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස ඉදිකිරීම සඳහා චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමට අපේක්ෂිත ඩොලර් මිලියන 500ක ණය මුදල සඳහා වන පොලී අනුපාතය 3.5%ක් දක්වා වැඩිවීමෙන් බරපතල අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ නිලධාරීහු, කිලෝමීටර් 36.475ක් දිගු කඩවත-මීරිගම කොටස නිම කිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් සහ ඉතිරි මුදල දේශීයව ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසූහ.
එහිදී සභාපතිවරයා ප්‍රශ්න කර සිටියේ, චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගන්නා ණය මුදල සඳහා ස්ථාවර පොලී අනුපාතය 2.5%ක් වූ නමුත් එම පොලී අනුපාතය 3.5%ක් වූ පරාසය සඳහා එකඟවුයේ ඇයිද යන්නයි.
ඊට පිළිතුරු දුන් නිලධාරීන් කියා සිටියේ, පවත්නා මිල ගණන් යටතේ 2.5%ක පොලී අනුපාතයට ණය ලබාදීමට එම බැංකුව එකඟ නොවූ බවත්, ඒ අනුව විචල්‍ය පොලි අනුපාතය මත 3.5%ක් වූ උපරිම පොලී අනුපාතයකට එකඟ වී ඇති බවත්ය.
කෙසේ වෙතත්, මෙම පොලී අනුපාතය නැවත සලකා බැලිය යුතු බවත්, මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට අවාසිදායක බවත් සභාපතිවරයා පැවසුවේය.
