Trending Newsඑසැන පුවත්දේශීය

බද්දේගම නගරයේ යෝජිත තැබෑරුමකට ජනතා විරෝධයක්.

(UTV | බද්දේගම ) –

බද්දේගම අධිකරණ සංකීර්ණය ආසන්නයේ ආරම්භ කිරීමට යෝජිත මත්පැන් අළෙවිසැලට විරෝධය පළ කිරීම සඳහා වූ උද්ඝෝෂණයක් බද්දේගම නගරයේ ඔරලෝසු කණුව වට රවුම ඉදිරිපිට දී අද (01) උදෑසන පැවැත්වින.

බද්දේගම දුටුගැමුණු රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය වැලිවිටියේ සුමන නායක ස්වාමීන් වහන්සේ, බද්දේගම මහගොඩකන්ද ඉසිපතනාරාමාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය බලගොඩ සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේ,  බද්දේගම ගොතටුව ශ්‍රීපාද චෛත්‍යාරාමාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ව‍්ඳුරඹ ධම්මවංශ හිමි, බද්දේගම කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාමාධිපති නායක ස්වාමීවන්සේ ඇතුළු, බද්දේගම  විහාරස්ථාන රැසක පූජනීය මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, ඔරලෝසු කණුව වටරවුමේ පිහිටි ගනේගම ශ්‍රී සරණංකර නායක ස්වාමීන් වහන්සේගේ පිළිරුව ඉදිරිපිට ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු මත්පැන්හලට එරෙහි උද්ඝෝෂණය ආරම්භ කෙරිණ. ගනේගම ශ්‍රී සරණංකර නාහිමි පදනම සහ බද්දේගම ප්‍රදේශවාසීන් එක්ව උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ.

“අපේ ජාතිය ටික ටික මරණ බාර් මාරයා පන්නමු, උන්ට සල්ලි අපිට ගින්දර, බද්දේගමට අඩු බාර් විතරද, ලංකාවේ විකිණෙන්නේ අරක්කු විතරද, ඡන්දේ ඉල්ලනේ අරක්කු පොවලද,” ලෙස ප්‍රදර්ශනය කරමින් සහ, “පූජා භූමිය පෙනෙන මානයේ බාර් එකක් අපට එපා, සරණංකර හිමි වැළකුව සුරා කඩය අපට එපා. බද්දේගම අභිමානය කෙළසන දේ අපට එපා”. ලෙස විරෝධතා පාඨ හඬ නැගූ උද්ඝෝෂකයෝ පූජනීය මහා සංඝරත්නය පෙරටුව බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයට ගොස් ප්‍රදේශීය ලේකම්වරියට විරෝධතා සන්දේශයක් බාරදීමට උත්සාහ කළ අතර, ඒ අවස්ථාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. ස්වාමීන් වහන්සේලා කිහිප නමකට කාර්යාලය තුළට වැඩමකර සන්දේශය බාර දෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළ බව, බද්දේගම පොලීසියේ ස්ථානාධිපතිවරයා උද්ඝෝෂකයන්ට දැන් වූ අතර, ඒ අවස්ථාවේ උද්ඝෝෂකයන් අතර, උණුසුම් තත්ත්වයක් ඇතිවිය. උද්ඝෝෂණයේ යෙදුන පිරිස ඉල්ලා සිටියේ ප්‍රාදේශීය ලේකම්වරියට කාර්යාල කාමරයෙන් පිටතට පැමිණ සන්දේශය බාර ගන්නා ලෙසයි. ඒ අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ සිට විරෝධතා පාඨ හඬ නගන්නට වූහ. ටික වේලාවකින් ප්‍රදේශීය ලේකම්වරිය සිය නිල කාමරයෙන් එළියට පැමිණ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ස්වාමීන්වහන්සේලා අත තිබූ සන්දේශය බාර ගත්තාය.

එහිදී බද්දේගම ප්‍රාදේශීය ලේකම් නිලංගි ඩයස් මහත්මිය මෙසේ කීවාය. බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගිය දිනක, මත්පැන්හල සම්බන්දව, විරෝධතා පරීක්ෂණයක් සිදු කළා. ඒ අවස්ථාවට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සම්බන්ධ වුණා. ඒ අනුව එම සියලු විරෝධතා සුරාබදු දෙපාර්තමේන්තුවට යොමු කළා. එම ආයතනයෙන් ප්‍රතිචාරයක් ලැබී නැහැ. ඉදිරිපත් කළ විරෝධතා සන්දේශය ද සුරාබදු කොමසාරිස් ජනරාල්වෙත යොමු කරන බව ප්‍රාදේශීය ලේකම් නිලංගි ඩයස් මහත්මිය ප්‍රකාශ කළාය.

එහිදී අදහස් දැක්වූ වැලිවිටියේ සුමන නායක ස්වාමීන් වහන්සේ කියා සිටියේ මෙකී මත්පැන් හළ ඇරඹීමට කුමන හෝ ආකාරයෙන් උත්සාහයක් ගන්නේනම් එය වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

ඉන් අනතුරුව විරෝධතා පාඨ හඬ නගමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් එළියට පැමිණ පිරිස සාමකාමීව විසිර ගියහ. විරෝධතා උද්ඝෝෂණය සඳහා පූජනීය මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩම කර සිටි අතර, ඉතා ඉහළ මහජන සහභාගීත්වයක් දක්නට ලැබිණ.

 

Related posts

UNP & SLFP both say ‘confident’ of victory at LG polls

Mohamed Dilsad

Petition challenging Ranil being MP rejected

Mohamed Dilsad

Welgama prepared to contest Presidential Election

Mohamed Dilsad

Leave a Comment