දේශීය

රට පුරාම විදුලිය බිඳවැටීම ගැන පරීක්ෂණ දෙකක්

දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයෙන් සහ ලංකා විදුලිබල මණ්ඩලයෙන් වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදුකිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

 

අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

 

එමෙන්ම ඊයේ දිනයේ සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අද දහවල් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

 

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ පස්වරු 05.10ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදුවිය.

 

බිඳවැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රමානුකූලව සිදුකළ අතර ඊයේ රාත්‍රී 11 පමණ වන විට දිවයින පුරා විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය.

 

විදුලිය බිඳවැටීමත් සමග ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වූ අතර දිවයින පුරා ආරක්ෂාව තර කිරීමට පොලීසිය සහ යුද හමුදාව කටයුතු කර තිබිණි.

 

මෙම හදිසි විදුලිය බිඳවැටීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

Related posts

ප්‍රධාන රෝහල්වලට පැමිණෙන රෝගීන් අහඹු ලෙස PCR පරීක්ෂණවලට

Mohamed Dilsad

ලියාපදිංචි සංචාරක මගපෙන්වන්නන්ට සහන පැකේජයක්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡා 2ක් අද

Mohamed Dilsad

Leave a Comment