දේශීය

STF වැටලීමේදී වෙඩිකෑ වෙඩික්කරු ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බළකාය සමග ඇතිවු වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලියක අපරාධකරුවෙකු ජීවිතක්ෂයට පත්විය.

 

පොලීසිය පවසන්නේ, මොහු පසුගියදා හෝමාගමදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවය.

 

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (19) රාත්‍රියේ හොරම්පැල්ල ප්‍රදේශයට ගොස් තිබුණේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහාය.

 

ඒ වනවිට අදාළ සැකකරු හොරම්පැල්ල, මහගම පිහිටි සිය බිරිඳගේ නිවසේ රැඳී සිට තිබුණි.

 

පොලීසිය පවසන්නේ, එහිදී මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු T 56 ගිනි අවියකින් STF නිලධාරීන් දෙසට වෙඩිතබා ඇති බවය.

 

ඊට STF නිලධාරීන්ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් තුවාල ලැබූ සැකකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

 

ඊයේ රාත්‍රී 11.30 ත් – 12 ත් අතර කාලයේදී සිදුවු මෙම වෙඩි හුවමාරුවේදී ජීවිතක්ෂයට පත්වුණේ කසුන් ලක්ෂිත සිල්වා නම් 29 හැවිරිදි පුද්ගලයෙකි.

 

ඔහු නාවික හමුදාවේ සිට පළා ආ සෙබළෙකු බවට වාර්තා වෙයි.

 

සංවිධානාත්මක අපරාධකරුවන් වන හීනටියන මහේෂ් මල්ලී සහ හෝමාගම හඳයා යන අය විසින් මෙම පුද්ගලයා අපරාධ සඳහා සම්බන්ධ කරගෙන තිබේ.

 

පොලීසිය පවසන්නේ, පසුගිය ජුනි මස 20 වනදා හෝමාගම ප්‍රදේශයේදී චමිල සංජීව පෙරේරා නොහොත් ‘චමිල කොටා’ යන පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, මෙම සැකකරු බවය.

 

වෙඩි හුවමාරුව අතරතුර සුළු තුවාල ලැබූ STF නිලධාරීයෙක් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට අදත් හවසට වැසි

Mohamed Dilsad

කොළඹ පළාත් කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment