දේශීය

මහින්දගේ සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව පනවනු ලැබූ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) ආගමන හා විගමන පාලකවරයාට නියම කළේය.

 

අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

 

අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී ඒවායේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයන්ට පණවා තිබූ විදේශ ගමන් සීමා කිරීමේ නියෝගය ඉකුත් ඔක්තෝම්බර් මස 07 වන දායින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීර්ඝ නොකළ බව පෙන්වා දුන්නේය.

 

මේ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම්දෙන නියෝගයක් නිකුත් කරන මෙන්ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම වගඋත්තරකරුවන් දෙදෙනාට නිකුත් කළ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

Related posts

ශානි අබේසේකරට නොතීසි

Mohamed Dilsad

ලංකාවේ කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ යයි

Mohamed Dilsad

රජයේ ගොඩනැගිලි සඳහා කඩිනමින් සූර්ය පැනල

Mohamed Dilsad

Leave a Comment