දේශීය

වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ජනතාවට පීඩා

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පළාත් 4 ක රජයේ රෝහල්වල අද (13) වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණි.

 

ඒ අනුව අද උදෑසන 8 සිට බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල පිහිටි සියලුම රජයේ රෝහල් ආශ්‍රිතව මෙම වැඩවර්ජනය දියත් කළේය.

 

මේ හේතුවෙන් එම පළාත්වල පිහිටි රජයේ රෝහල් වෙත ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්විය.

 

කෙසේවෙතත් ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල් සහ වකුගඩු ප්‍රතිකාර ඒකකවල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවීය.

 

ඒ අනුව අද දිනයේ ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් හෙට (14) දිනයේදී වයඹ, උතුරු මැද,උතුර, ඌව සහ සබරගමුව යන පළාත්වල ද රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

 

රෝහල් වර්ජනයට සමගාමීව වරාය සේවකයින් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන අතර බැංකු සේවකයින්ද කළු ඇඳුමින් සැරසී අද සේවයට වාර්තා කර තිබුණි.

 

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිතිවලින් සැදුම්ලත් ”වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව” පසුගියදා තීරණය කළේ අදින් ඇරඹෙන මෙම සතිය තුළ විරෝධතා සහ වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමටය.

 

වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද අද දහවල් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට පාගමනින් විජේරාම මංසන්ධිය දක්වා ගමන් ගත්තේ රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීමටය.

 

මේ අතර, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර බැලීම ප්‍රමාද වුවහොත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන්ද කල් යා හැකි බවය.

 

මීට සමගාමීව රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් එළැඹෙන 15 වනදා දීප ව්‍යාප්තව සිදුකිරීමට සැලසුම් කර ඇති වැඩ වර්ජනය සඳහා වරාය, වෛද්‍ය, හෙද, ජල, විදුලිය, ගුරු විදුහල්පති සහ බැංකු යන ක්ෂේත්‍රයන්ද එක්වන බවට දැනටමත් ප්‍රකාශ කර අවසන්ය.

 

සංවර්ධන නිලධාරීන් 15 වනදා වර්ජනයට සම්බන්ධ වන බවට ලිඛිත දැනුම් දීමක් අද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදීමද සිදුකෙරුණි.

 

Related posts

ළමයි 50ට වඩා අඩු ප්‍රාථමික පාසල් 1557ක් වහන සැලැස්මක් ගැන ලංකා ගුරු සංගමයෙන් අනාවරණයක්

Editor O

උපන්දින සාදයට ගිනි තැබූ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

LTTE අවි ගබඩාවක් කිලිනොච්චියෙන් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment