දේශීය

ගිනිඅවි උණ්ඩ 50ක් රැගෙන ගුවන්තොටුපොළට ආ අමුත්තා

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගිනිඅවි උණ්ඩ 50ක් රැගෙන යාමට උත්සාහ කළ ව්‍යාපාරිකයෙකුට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් රටින් පිටවීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

අදාළ සිද්ධිය වාර්තා වූ අවස්ථාවේ පොලීසිය හෝ ගුවන් හමුදාව දැනුවත් කළයුතු වූවද එසේ නොකර එම නිලධාරීන් එම උණ්ඩ අදාළ ව්‍යාපාරිකයාගේ රියදුරුට භාරදී ඇති බව ආරක්ෂක අංශ පවසයි.

 

ඉකුත් ජනවාරි 29 වනදා සිංගප්පූරුව බලා යාමට පැමිණි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගනු ලබන්නේ මිලිමීටර 9 ගිනිඅවි උණ්ඩ 50ක් රැගෙන යාමට උත්සාහ කිරීමේදීය.

 

එම අවස්ථාවේදී අදාළ ව්‍යාපාරිකයා තමන් සතු උණ්ඩ සඳහා බලපත්‍රයක් ඇති බව පෙන්වා ඇති අතර ඒ අනුව එම නිලධාරීන් විසින් ඔහුව මුදා හැර විදෙස්ගතවීමට අවසර ලබාදී තිබේ.

 

අනතුරුව ඔහු රැගෙන යාමට උත්සාහ කළ ගිනිඅවි උණ්ඩ 50 ඔහුව ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ ඔහුගේ රියදුරු වෙත ලබාදී ඇති බව වාර්තා වේ.

 

මෙවැනි අවස්ථාවකදී ඒ පිළිබඳව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් පොලීසිය හෝ ගුවන් හමුදා නිලධාරීන් දැනුවත් කිරීම අනිවාර්ය කරුණක් බව පැවසෙයි.

 

කෙසේවෙතත් අදාළ දිනයේ සිටි නිලධාරීන් ඒ පිළිබඳව කිසිදු කරුණක් පොලීසියට හෝ ගුවන් හමුදාවට දැනුම් දී නොමැති බවද අප කළ සොයාබැලීමේදී අනාවරණය විය.

 

එමෙන්ම ගිනි අවිවලට නිකුත් කරන බලපත්‍රයක් සඳහා ළඟ තබා ගත හැකි වන්නේ උණ්ඩ 10ක් පමණි.

 

එහෙත් අදාළ ව්‍යාපාරිකයා උණ්ඩ 50ක් ළඟ තබාගැනීම ගැටලුකාරී තත්ත්වයක් බව ආරක්ෂක අංශ පෙන්වාදෙයි.

 

මේ පිළිබඳව තොරතුරු වාර්තා වූ ගුවන් හමුදා නිලධාරීන් ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.

 

ඒ අනුව පසුගියදා පැවති ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී ද මේ පිළිබඳව ගුවන් හමුදාපතිවරයා දැනුවත් කර ඇති බව වාර්තා විය.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදුවන බවටද තොරතුරු වාර්තා වෙයි.

 

එමෙන්ම අදාළ ව්‍යාපාරිකයා කුමණ හේතුවක් මත උණ්ඩ රැගෙන යාමට උත්සාහ කළේද යන්න පිළිබඳව මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇත්තේ ඒ පිළිබඳව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක අංශ නිලධාරීන් එම අවස්ථාවේ නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් බව ආරක්ෂක අංශ පවසයි.

Related posts

කුරුණෑගල ගමකට සංචරණ සීමා

Mohamed Dilsad

තිළිණි රෝහලේ – නඩුව කල්යයි

Mohamed Dilsad

නව ජල සම්පාදන රාජ්‍ය ඇමති දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment