දේශීය

නිරෝධායන ඇඳිරි නීතියට එරෙහිව මූලික හිමිකම් පෙත්සමක්

(UTV | කොළඹ) – නිරෝධාන ඇඳිරි නීතිය මගින් තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට තහංචි පැනවීම හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි පවසමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු 47 දෙනෙකුට එරෙහිව එක්සත් ජාතික පක්ෂ ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සමිතිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

එහි සභාපති ජී.අයි. චාර්ල්ස්, ලේකම් ක්‍රිෂාන් මාරඹගේ හා ජාතික සංවිධායක ආර්.එන්.ඒ.ඒ. ප්‍රනාන්දු යන තිදෙනා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ සිය නීතිඥ දිමුතු කුරුප්පුආරච්චි මෙනෙවිය මගිනි.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාත්, පොලිස්පතිවරයාත්, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාත්, සෞඛ්‍ය අමාත්‍යවරයාත්, ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු නියාමන රාජ්‍ය අමාත්‍යවරයාත්, ප්‍රාථමික සෞඛ්‍ය හා බෝවන රෝග පාලන රාජ්‍ය අමාත්‍යවරිය හා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාත් ඇතුළුව 47 දෙනෙකු නම් කොට ඇත.

පෙත්සම්කරුවන් ප්‍රකාශ කොට ඇත්තේ දිවයින පුරා විහිදුණු ව්‍යාපාරික පුජාවක් සහිත තම සමිතියේ සාමාජික ව්‍යාපාරිකයන්ගේ එක ම ජීවනෝපාය වන පදික වෙළෙඳාම, සංචාරක වෙළෙඳාම, ද්‍රව්‍ය බෙදාහැරීම යනාදී කටයුතු පවත්වාගෙන යාමට රජය විසින් පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය බරපතළ ආකාරයෙන් අවහිරයක් වී ඇති බවත් එමගින් තම සාමාජික ප්‍රජාවගේ ජීවනෝපාය ඇනහිටීමත් සමග ම එම පවුල්වල සියලු ම දෙනාගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යාම පවා බරපතළ අර්බුදයක් වී ඇති බවත්ය.

එබැවින් ඕනෑ ම කොන්දේසි පද්ධතියක් යටතේ මෙම ව්‍යාපාර පවත්වාගෙන යෑමට හැකි වන සේ ඊට සුදුසු අවසරය ලබාදීමට ක්‍රියා කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් සිදුව ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම වෙනුවෙන් ඊට සරිලන යම් සහන මාලාවක් ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

Related posts

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජය කටයුතු නොකරයි

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරිනීති බලපත් හුදෙකලා ප්‍රදේශ සඳහා වලංගු නොවේ [RELEASE]

Mohamed Dilsad

විදුලි සංදේශ උපකරණ ගැන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment