දේශීය

නෞකාව ගිනි ගැනීම නිසා අසරණ වූ ධීවරයින්ට සහන දෙන්නැයි, කතෝලික පියතුමන්ලා ඉල්ලයි

(UTV | කොළඹ) – කොළඹ වරාය ආසන්නයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආපදාවට පත්වීමෙන් මීගමුව ඇතුලු ප්‍රදේශ කීපයක ධීවරයන් මුහුණදී ඇති පීඩාකාරී තත්ත්වය සහ සමුද්‍රීය පරිසරයට සිදුව ඇති හානිය වෙනුවෙන් වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය පියවර ගතයුතු බව කොළඹ උතුර අගරදගුරු පදවි මීසම් එකමුතුව අවධාරණය කරයි.   

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිදුව ඇති ව්‍යසනකාරී තත්ත්වය පිළිබදව දැඩි කණස්සල්ල පළකරන බවයි.

මේ සඳහා ධීවර ප්‍රජාව සහ සමුද්‍රීය පරිසර පද්ධතිය වෙනුවෙන් ගතයුතු පියවර කිහිපයක්ද ඔවුන් විසින් යෝජනා කර තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිදුව ඇති ආපදාව නිසා කෙටිකාලීනව හා දිගු කාලීනව රැකියා අහිමිවන සියලූ ධීවර ජනතාව වෙත නොපමාව වන්දි ලබාදීමට කටයුතු කිරීම / මෙම ආපදාව හේතුවෙන් හිමිවන ආපදා වන්දි හා රක්ෂණ ආවරණ මුදල්වල ප්‍රතිලාභීන් ලෙස ධීවර ජනතාව පත්කිරීමට කටයුතු කිරීම / බලපෑමට ලක්වන ප්‍රදේශවල ධීවර ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නොපමාව ලබාදීම එම යෝජනා අතරට අයත්.

එමෙන්ම විනාශ වූ වෙරළ පද්ධතිය යථා තත්ත්වයට පත්කර කොරල් පර විනාශ වී යාමේ තර්ජනය කල් ඇතිව හදුනාගෙන ඊට අවශ්‍ය පිළියම් යෙදීම / නෞකාවේ ආපදා තත්ත්වයත් සමඟ ධීවර කටයුතු තහනම් කර ඇති ප්‍රදේශවල ජනතාවගේ පවුල් වෙත යළි ධීවර කටයුතු ආරම්භ වනතෙක් අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය නොපමාව ලබාදීමට කටයුතු කිරීම සහ දිගුකාලීන සහන සැලසීමට විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම යන යෝජනාද කොළඹ උතුර අගරදගුරු පදවි මීසම් එකමුතුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්.

මාධ්‍ය සන්දර්ශණ පැවැත්වීමෙන් වැළකී ධීවරයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට වගකිවයුතු බළධාරින් වහා පියවර ගතයුතු බවත් ඒ පිළිබද විමසිලිමත්ව බලා සිටින බවත් කොළඹ උතුර අගරදගුරු පදවි මීසම් එකමුතුව අවධාරණය කර සිටියි.

මේ අතර ගිනිගත් එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් කොළඹ වරායේ නාවික කටයුතු සඳහා බාධාවක් නොවන බව වරාය අධිකාරිය ප්‍රකාශ කරයි.

 

Related posts

තවත් ආසාදිතයන් පස් දෙනෙකු සොයා ගැනේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේ දී රට වෙනුවෙන් තීරණයක් ගන්නවා – ඇමති නිමල් සිරිපාල

Editor O

සහල් සඟවාගෙන සිටින වී මෝල්හිමියන් සොයා වැටලීම් අරඹයි

Mohamed Dilsad

Leave a Comment