දේශීය

වසංගත ව්‍යාප්තිය වැළැක්වීමට ජනපතිගෙන් උපදෙස් මාලාවක්

(UTV  | කොළඹ) – බෝ නොවන රෝගවලින් පෙලෙන පුද්ගලයින් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් කාර්ය සාධක බලකාය අද (11) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දීයි.

සෙසු රටවලින් මෙන්ම මෙරටින්ද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 93 % කට හේතුවබෝ නොවන රෝග වැළඳුණු අයට වෛරසය ආසාදනය වීම බව වෛද්‍යවරු පෙන්වා දෙයි. හෘද, දියවැඩියා, වකුගඩු සහ පිළිකා ආශ්‍රිත රෝගීහූ ඉතා වේගයෙන් කොවිඩ් ආසාදනයට ලක් වෙති.

බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොපෙන්වා මරණයට පත්ව ඇත. පසුව කළ PCR පරීක්ෂණවලදී ඔවුන් කොවිඩ් අසාදිතයන් බවට තහවුරු වී තිබේ.

මේ පිළිබඳව විශේෂ අවධානය යොමුකොට බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් ආරක්ෂා කර ගැනීමට සහ කොවිඩ් ආසාදනයෙන් වැළකී සිටීමට අදාළ උපදෙස්දීම හා දැනුවත් කිරීම් වහාම සිදු කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දෙයි.

එමෙන්ම හුදෙකලා කර ඇති ප්‍රදේශ වෙත භාණ්ඩ බෙදා හැරීමට සම්බන්ධ වන පාර්ශ්ව නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතු බව ද , එම ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළුවීමට හෝ කිසිවෙකුට ඉඩ නොතබන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට කරන සංචරණය වළක්වාලීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බන්ධනාගාරය ආශ්‍රිත තත්ත්වය සහ ව්‍යාප්තිය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ද මෙහිදී විමසුමට ලක් විය.

 

 

 

Related posts

නව ආසාදිතයින් 146ක්

Mohamed Dilsad

අගමැති ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතවූ ආණ්ඩු පක්ෂයේ රැස්වීම අවලංගුයි

Mohamed Dilsad

හදිසියේ අසනීපවූ සිසුවියක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment