දේශීය

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන සතියේ

(UTV | කොළඹ ) – විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙටින් ආරම්භ වන සතිය තුළ නිකුත් කිරීමට කටයුතු කරන බව සඳහන් කර තිබේ.

ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේය.

කොරෝනා වෛරස් වසංගත තත්ත්වයත් සමඟ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ප්‍රතිඵල පාසල් වෙත තැපැල් කිරීම සිදු නොකෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

ඒ අනුව ප්‍රතිඵල ලේඛණ පාසල්වල විදුහල්පතිවරුන්ට මාර්ග ගත හෙවත් ඔන්ලයින් ක්‍රමයට ලබාදීම සඳහා ක්‍රමවේදයක් සකස් කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ද එලෙසින්ම ඔවුන්ට අනන්‍ය මුරපද සහ පරිශීලක නාම ලබාදී මාර්ග ගත ක්‍රමයට ප්‍රතිඵල සඳහා ප්‍රවේශවීමට අවස්ථාව සලසා දීමට ද කටයුතු කෙරෙන බව සඳහන් වේ.

අයදුම්කරුවන්ට ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි අතර තාවකාලික ප්‍රතිඵල සහතිකයක් ද එමගින් ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

එමෙන්ම, ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගෙන ඇති අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුගමනය කරමින් ඊට අදාළ කටයුතු සිදුකරන බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට මධ්‍යස්ථාන 4,987කදී අයදුම්කරුවන් හත්ලක්ෂ 17,008ක් පෙනී සිටියේය.

Related posts

සපුගස්කන්දේ මළසිරුර හඳුනා ගැනෙයි

Mohamed Dilsad

මහර බන්ධනාරයේ ගැටුමෙන් මිය ගිය තවත් 04 දෙනෙකුගේ සිරුරු රෝහලට

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හම්බන්තොටට

Mohamed Dilsad

Leave a Comment