ක්‍රීඩා

පළාත් විස්‌සයි විස්‌සේ – දෙවැනි වරටත් ශතකයක්‌ ලැබූ තරංග කොළඹට කිරුළ ගෙනෙයි

UTV | COLOMBO – අන්තර් පළාත් විස්‌සයි විස්‌ස තරගාවලියේ දෙවැනි වරටත් ශතකයක්‌ (නොදැවී 104) වාර්තා කළ උපුල් තරංග ඊයේ (02 දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී දඹුල්ල කණ්‌ඩායමට එරෙහිව කඩුලු හතක ජයක්‌ කරා සිය කණ්‌ඩායම මෙහෙයවමින් 2018 පළාත් විස්‌සයි විස්‌ස ශූරතාව කොළඹ කණ්‌ඩායමට දිනා දීමට සමත්විය.

පළමුව පිති ප්‍රහාරය දියත් කළ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්‌ඩායම ලකුණු 163 ක්‌ ලබා ගත් අතර අදාළ ඉලක්‌කය පන්දු 10 ක්‌ සහ කඩුලු හතක්‌ ඉතිරිව තිබියදී සම්පූර්ණ කළ කොළඹ පිලට මිලියන දෙකක ශූරතාවක්‌ හිමිවිය. නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් නොමැතිවීමෙන් කණ්‌ඩායම මෙහෙයවූ උපුල් තරංග අර්ධ ශතකය ලබා ගැනීමට පෙර අශාන් ප්‍රියංජන්ගේ පන්දුවකට මිඩ් ඕන් හී සිටි තිසර පෙරේරාට දුන් උඩපන්දුව අතහැරුණි. එතැන් සිට ක්‍රියාත්මක වූ තරංග පන්දු 55 කදී හයේ පහර නවයක්‌ සහ හතරේ පහර හතරක්‌ සමග නොදැවී ලකුණු 104 ක්‌ ලබා ගනිමින් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

කොළඹ පිලේ ජයග්‍රහණය වෙනුවෙන් ෂෙහාන් ජයසූරිය පන්දු 22 කදී නොදැවී ලකුණු 35 ක්‌ ලබා ගත් අතර පන්දු යෑවීමේදී අකිල ධනංජය සහ ජීවන් මෙන්ඩිස්‌ කඩුලු දෙක බැගින් බිඳ දැමීය. දඹුල්ල පිල වෙනුවෙන් රමිත රඹුක්‌වැල්ල පන්දු 40 කදී ලකුණු 57 ක්‌ද හසිත බෝයගොඩ පන්දු 26 කදී ලකුණු 40 ක්‌ද ලබාගත්තේය.

Related posts

ලෝක පිහිණුම් ශූරතා තරගාවලිය කල් යයි

Mohamed Dilsad

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

නවසීලන්ත සංචාරයට දිනේෂ් චන්දිමාල් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment