Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉන්දුනීසියා ආණ්ඩුව ට එරෙහි ජනතා විරෝධතා උග්‍රවෙයි….. : රාජ්‍ය ගොඩනැගිලි ගිනි තබයි

ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා නගරය ඇතුළු ප්‍රධාන නගර කිහිපයක පසුගිය දින කිහිපයේ සිට විරෝධතා උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි අධික දීමනා, පොලිස් ප්‍රචණ්ඩත්වය සහ ආර්ථික අසමානතා හේතුවෙන් මෙම විරෝධතා මාලාව ආරම්භ වී ඇත.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ මූලික වැටුපට අමතරව අධික මාසික නිවාස දීමනා ලැබෙන බවට හෙළිවීමත් සමඟ මහජන කෝපය ඇවිස්සී තිබේ. මෙම දීමනාව ජකර්තා නුවර අවම වැටුප මෙන් දස ගුණයකටත් වඩා වැඩි අගයක් ගන්නා බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි.

රටේ ජනතාව උද්ධමනය, ඉහළ යන ජීවන වියදම සහ විරැකියාව වැනි ආර්ථික ගැටලුවලින් පීඩා විඳින මෙවැනි මොහොතක, රජයේ නියෝජිතයන්ට මෙවැනි අධික දීමනා ලැබීම අසාධාරණ බව විරෝධතාකරුවන් පවසයි.

විරෝධතා අතරතුර පොලිස් සන්නද්ධ රථයකට යට වී යතුරුපැදි කුලී රියදුරෙකු මිය යාමෙන් පසු තත්ත්වය තවත් උග්‍ර වී තිබේ.

මෙම සිදුවීම, පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳ මහජනතාව තුළ පැවති කෝපය තීව්‍ර කිරීමට හේතු විය. සිසුන්, කම්කරුවන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ කණ්ඩායම් ජාකර්තා නුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිටට රැස්වී විරෝධතාවල නිරත වන බව වාර්තා වේ. ඔවුන් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස, ජීවන වියදම පාලනය කරන ලෙස සහ රැකියා අවස්ථා උත්පාදනය කරන ලෙස ඉල්ලා සිටිති.

විරෝධතා මැඩපැවැත්වීම සඳහා පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් භාවිතා කරන අතර, විරෝධතාකරුවන් ගල් හා බෝතල් ප්‍රහාර එල්ල කරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

තත්ත්වය සමනය කිරීම සඳහා ජනාධිපති ප්‍රබෝවෝ සුබියැන්තෝ මහතා පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බවට පොරොන්දු වී ඇත. එසේම, රජය විසින් සමාජ මාධ්‍යවල “ප්‍රකෝපකාරී” අන්තර්ගතයන් පාලනය කිරීම සඳහා මෙටා සහ ටික්ටොක් වැනි සමාගම් සමඟ සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.

Related posts

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

Travel ban Extended to four ETI Executive Committee Members

Mohamed Dilsad

Plastic particles found in bottled water – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment