දේශීය

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුමක්

(UTV |කොළඹ) – නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුම් කරයි.

“බීමට සහ වගාවන්ට ජලය නොලැබීමෙන් රට පුරා ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටිති. වැව් සහ වාරිමාර්ග පද්ධතිය අඩාල වී තිබේ. ග්‍රාමීය මාර්ග පද්ධතියේ සංවර්ධනය ද වේගවත් විය යුතුය. ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකර දීමට නොහැකිනම් සංවර්ධන ව්‍යාපෘතිවලින් ප්‍රයෝජනයක් නැත. එමෙන්ම මූලික අවශ්‍යතා ඉටුකර දීමට නොහැකිනම් බලාපොරොත්තු රැසක් සහිතව ජනාධිපතිවරයා ලෙස බලයට පත්කර ගත් තමාගෙන් ද රටවැසියාට ඵලක් නැත” රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන් සමග ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

වසර ගණනාවක් තිස්සේ සංවර්ධන ව්‍යාපෘති ශක්‍යතා වාර්තා සැකසීමේ සිට ඉදිකිරීම් අධීක්ෂණය සහ තීරණ ගැනීම කර ඇත්තේ විදේශීය ඉංජිනේරුවන් විසිනි.  ඔවුන් නායකත්වය දුන් ව්‍යාපෘතිවලින් ජනතා අවශ්‍යතා ඉටු වී නැත. විදෙස් රටවලින් පැමිණ ව්‍යාපෘති කිරීමේ සංස්කෘතිය නතර කර ඉදිරි සංවර්ධන වැඩසටහන්  දේශීය ඉංජිනේරුවරුන්ට සහ ආයතනවලට  පවරන බව ජනාධිපතිතුමා පැවසීය.

ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ දී තරුණයන් කෙරෙහි  විශ්වාසය තබන ලදී. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදු කිරීමට අපේක්ෂිත පෙරළියේදීත් දේශීය ඉංජිනේරුවන් කෙරෙහි විශ්වාසය තබන බව කී ජනාධිපතිතුමා ඉතිහාසයේ ඉතා කීර්තිමත් ඉංජිනේරුවරුන් බිහි වූ යුගය නැවත උදා කළ යුතු බව සඳහන් කළේය.

තමන් කෙරෙහි ජනාධිපතිතුමා තබා ඇති විශ්වාසය තහවුරු කරමින් දේශීය යාන්ත්‍රණයක් තුළ රට ගොඩනැගීමේ කර්තව්‍යයට උර දෙන බවට ඉංජිනේරුවරු සහතික වූහ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ රජයේ වැඩපොළ පත්ව ඇති තත්වය පිළිබඳව තමා කණගාටුවන බව සඳහන් කළ ජනාධිපතිතුමා මේ ආයතන පෙර තිබූ තත්ත්වයට වඩා ඉදිරියෙන් තැබීමේ වගකීම ද ඉංජිනේරුවරුන්ට පැවරීය.

තමා රට භාර ගන්නා විට තිබූ තත්ත්වයට වඩා කොවිඩ් අර්බුදය හමුවේ අභියෝග දස ගුණයකින් වැඩි වී ඇතැයි පැවසූ ජනාධිපතිතුමා වඩාත් ශක්තිමත්ව ඊට මුහුණ දෙන බව අවධාරණය කළේය.

අඩු හා මැදි ආදායම්ලාභී  පුද්ගලයින්ගේ නිවාස ප්‍රශ්නය විසඳීමේ දී දේශීය ඉදිකිරීම් සමාගම්වල සහ ඉංජිනේරුවන්ගේ දායකත්වයේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මුල් ආකෘතියට හානි නොවන අයුරින් වැව් සහ වාරිමාර්ග පද්ධතිය පිළිසකර කිරීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් කෙරිණ.

ආර්ථිකය ගොඩනැගීම යනු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි. ඒ සඳහා වූ සංවර්ධන සැලැස්මක් වෙත  ගමන් කළයුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට නිවැරදි දිශාවට ගෙන යනු ඇතැයි තමන් දැඩිව විශ්වස කරන බව ද ඉංජිනේරුවරු පැවසූහ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ  අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන  කිහිපයක ප්‍රධානීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

ගානියා බැරිස්ටර්ට එරෙහිව ගොණුකර ඇති නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

අත්‍යවශ්‍ය ඖෂධ 237 ක හිගයක්

Mohamed Dilsad

දකුණු පළාතේ ATM වලට සුද්දයක් දුන් පිරිසක් ‍සොයා මෙහෙයුම් ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment