විදෙස්

ඇමෙරිකානු ජනාධිපතිට එරෙහිව නඩු දමයි

(UTV | ඇමෙරිකාව) – ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතාකරුවන්ගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් එරට සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් එක්ව ජනාධිපතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා නැවැත්වීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා දැඩි ක්‍රියාමාර්ග ගත්තේය.

විරෝධතාකරුවන් ධවල මන්දිරය ඉදිරිපිටද විරෝධතාවල නිරත වූ අතර එක් අවස්ථාවකදී කඳුළු ගෑස් මෙන්ම රසායනික ද්‍රව්‍යය ද යොදාගනිමින් විරෝධතාකරුවන්ට දැවන්ත ප්‍රහාරයක් එල්ල විය.

එමෙන්ම , ඡායාරූපයක් ගැනීම සඳහා ජනාධිපති ට්‍රම්ප් අසල තිබූ පල්ලියකට යෑමට පෙර විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය එලෙස රසායනික ද්‍රව්‍ය සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

ඇමෙරිකාවේ ෆෙඩරල් අධිකරණයක මෙම නඩුව පවරා තිබෙන අතර එහි මූලිකත්වය ගෙන ඇත්තේ ඇමෙරිකාවේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ‘ද ඇමෙරිකන් සිවිල් ලිබර්ටීස් සංවිධානය’යි.

බලහත්කාරයෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීමට ගත් තීරණය නිවැරැදි යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතිපති විලියම් බාර් පවසා ඇත.

ජනාධිපතිවරයාගේ, නිලධාරීන්ගේ සහ රාජ්‍ය (ෆෙඩරල්) දේපළ ආරක්ෂා කරගැනීම සඳහා එලෙස කිරීමට සිදු වූ බව ද ඔහු පවසා ඇත.

Related posts

බෙංගාල ව්‍යාඝ්‍රයාගේ මරණය ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 1.3 ක් අහෝසි කරයි

Mohamed Dilsad

නිකලස් මධුරෝ යළිත් වෙනිසියුලානු ජනපති වෙයි

Mohamed Dilsad

Leave a Comment