Trending News

‘සිරගෙවල් වසා පාසල් විවෘත කරන රටක් සේම රෝහල් අවම වී නිරෝගී මිනිසුන් වෙසෙන රටක් අප ගොඩනැගිය යුතුයි’ ජනපති

(උදයම්,කෑගල්ල)  –  සිරගෙවල් වසා පාසල් විවෘත කරන රටක් සේම රෝහල් අවම වී නිරෝගී මිනිසුන් වෙසෙන රටක් අප ගොඩනැගිය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයට අද (01) පෙරවරුවේ එක් වෙමිනි.

ලෝකයේ මානව වර්ගයාගේ යහපත් ගමනට තිබෙන්නා වූ ප්‍රබලතම බාධාව යහපත් මිනිසුන්ගේ නිහඬතාවයත්, හිස් මිනිසුන්ගේ ඝෝෂාකාරී හඬත්ය යන මාටින් ලූතර් කිං මහතාගේ ප්‍රකාශය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ හිස් මිනිසුන්ගේ ඝෝෂාව යටත්පත් කිරීමට උගතුන්, බුද්ධිමතුන් සහ විශිෂ්ටයින් වැඩි වැඩියෙන් රට තුළ බිහි විය යුතු බවයි.

කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය රටට වැඩදායී පුරවැසියන් රැසක් බිහි කරමින් එදා මෙදා කාලය තුළ ඉටු කළ මෙහෙවර ද මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ත්‍රිපිටකය, බයිබලය සහ කුරානය කේන්ද්‍රගත වූ මෙම විද්‍යාලය ජාතික සංහිඳියා වැඩපිළිවෙළට ද මහත් ආදර්ශයක් බව කියා සිටියේය.

ක්‍රි.ව. 1867 දී ආරම්භ වූ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය එවකට බිහිවූ කතෝලික මිෂනාරි පාසල් මාලාවේ පස්වැන්නයි. එකල කතෝලික ධර්මදූත සේවාවේ යෙදී සිටි ඩොමිලියෝ සිංගොලානී පියතුමා මෙම විද්‍යාලයේ ආරම්භක නියමුවාණන් විය. සිසුන් 22 ක් හා එක් ගුරුවරයෙකුගෙන් ඇරඹී මෙම විද්‍යාලයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමට එකල කතෝලික ප්‍රභූ පවුල්වල දරුවන්ට අවස්ථාව උදා විය.

ශාන්ත මාරිය විද්‍යාලය සිය 150 වසරක ගමන් මග තුළ කතෝලික පූජකතුමාලා යටතේ ද, පසුව විදුහල්පතිවරු රාශියක් යටතේ ද සංවර්ධනය වෙමින් මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේද කීර්තිනාමය දිනා ගනිමින් අභිමානවත් ගමනක යෙදී සිටී.

අද පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගන්නා ලදී.
විද්‍යාලයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

සිසුන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන කුටි නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.

ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ විශේෂ දක්ෂතා දැක්වූ සිසුන්ට තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මේ අතර මෙම උත්සවයට සහභාගීවීමට පැමිණෙන අතරතුර ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ ද සුවදුක් විමසූ ජනාධිපතිතුමා ඔවුන්ගේ අඩු පාඩු විමසා බලමින් සුහද කථා බහක නිරත විය.

Related posts

Supreme Court to hear case on Provincial Council Elections soon

Mohamed Dilsad

இரண்டாவது நாளாகவும் தொடரும் பணிப்புறக்கணிப்பு போராட்டம்

Mohamed Dilsad

Russian nuclear accident: Medics fear ‘radioactive patients’ – [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment