දේශීය

ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී ප්‍රාථමික පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් ඊ.ඩබ්ලිව්.එල්.කේ.එගොඩවෙල සඳහන් කළේ, 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන 2022 වසරේ පෙබරවාරි 07 දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් කාලය ආවරණය වන පරිදි එළඹෙන 04 වැනි දින සිට මාර්තු මස 06 තෙක් පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බවයි.

නමුදු එම කාලය තුළ ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා නොදෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව මෙම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දී ප්‍රාථමික ශ්‍රේණි හා ප්‍රාථමික පාසල් සඳහා නිවාඩු ලබානොදෙන නමුත්, විභාග වාතාවරණය පවත්වාගෙන යාමට බාධාකාරී පාසලක් වේ නම්, අදාළ විදුහල්පතිවරුන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එවැනි පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබාදීමට පළාත් පාලන අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පවරන බව ද, එම කාලය තුළ එවැනි පාසල් සඳහා අදාළ පැවරුම් නිර්දේශ කොට, ඉගෙනුම් ක්‍රමවේද යොදා ගන්නා ලෙසට ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එමෙන්ම විභාග රාජකාරි කටයුතු සඳහා පත්කර ඇති ගුරුවරු ඒ සඳහා යොමු කිරීමට ද පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලුම පාසල්වල විදුහල්පතිවරු, කලාප,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබෙනවා.

Related posts

රුසියානු ජනරාල්වරයෙක් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට

Mohamed Dilsad

අන්තර්ජාලයේ ප්‍රචණ්ඩත්වය මුදා හරින වීඩියෝ ගැන විමර්ශනයක්

Mohamed Dilsad

තවත් 430 ක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment