දේශීය

සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගන්නේ නෑ – CID

(UTV | කොළඹ) – රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලකට‍ අනුව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ(CID) අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රෝහන්ත අබේසූරිය මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට දරණ උත්සාහය වලක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවු අවස්ථාවේදී ය.

විජිත් මලල්ගොඩ, එල්.ටී.බී දෙහිදෙණිය හා පී පද්මන්සූරිය යන විනිසුරු මඩුල්ල හමුවේ අද පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අද ඒ බව අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරන විමර්ශවලට සහාය දැක්වීමක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දුන් විටක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට අවශ්‍ය ප්‍රකාශ ලබාදීමට සිය සේවාදායකයා එකඟ වන බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය.

ඒ අනුව, පෙත්සම සලකා බැලීම සඳහා ලබන අප්‍රේල් 04 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා පසුගිය මස 23 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකදී තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශ අසත්‍ය ප්‍රකාශ වන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට සුරේෂ් සලෙයි මහතා පසුගිය 25 වැනිදා කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් නිවේදනයක්

Mohamed Dilsad

සිසේරියන් සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධයක් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

ආර්ථිකය මේ වන විට යම්කිසි ස්ථාවර මට්ටමක පවතිනවා – මහ බැංකු අධිපති

Mohamed Dilsad

Leave a Comment