දේශීය

දරුවන්ට අහිමිව ගිය සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක්

(UTV | කොළඹ) – වර්තමානයේ ලෝකය මුහුණ දී ඇති වසංගතය හමුවේ සමස්ත දරු පරපුරේ සිතුම් පැතුම්වලට ළමා ලෝකයට බොහෝ සීමා ඇති වී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෝක ළමා දින පණිවුඩය නිකුත් කරමින් පවසනවා.

පාසල් පන්ති කාමර ක්‍රීඩා පිටිය තවදුරටත් දරුවන්ට දුරස්ථ වී ඇති බවත් එලෙස අහිමිව ගිය සියළු අපේක්ෂා වඩාත් සුරෂිතව ළඟා කර දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බවත් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙනවා.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ලෝක ළමා දිනය සැමරීමට අවස්ථාව හිමිව නැතත් සියළු දරුවන්ට තමන්ගේ නිවසේ සිට හෝ සතුටින් එය සැමරීමට ආශිර්වාද කරන බවත් සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

උපුටා ගැනීම.

වර්තමානයේ ලෝකය මුහුණ දී ඇති වසංගතය හමුවේ සමස්ත දරු පරපුරේ සිතුම්පැතුම්වලට ළමා ලෝකයට ඇති සීමා බොහෝය.

පාසල් පන්ති කාමරය, ක්‍රීඩා පිටිය තවමත් අපේ දරුවන්ට දුරස්ථය. දැයේ දරුවන්ට අහිමි ව ගිය ඒ සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වී තිබේ.

අපගේ සමස්ත සැලසුම් ක්‍රියාත්මක වන්නේ දරුවන්ගේ ලෝකය වඩාත් ඉක්මණින් ඔවුන්ට සමීප කර දීමටය.

තම දරුවන් විශිෂ්ටයන් ලෙස සමාජගත වන විට තෘප්තිමත් වන්නේ දෙමව්පියන් සහ භාරකරුවන් ම පමණක් නොවේ. එම සතුට සමස්ත මානව සමාජයම අත්විඳිනු ඇත.
එ බඳු අත්දැකීම් ලෝකයේ ඕනෑ තරම් තිබේ. අනාගතයේ ද එ බඳු දෑ නිර්මාණය වීම නතර නොවේ. එ බැවින් වැඩිහිටියන් වශයෙන් අපි, ගුණ නැණින් යුතු දරු පරපුරක් රටට ලෝකයට දායාද කිරීමට නම් දරුවා දැනුම, ආකල්ප සහ කුසලතාවලින් පූර්ණත්වයට පත් කිරීමට අවශ්‍ය පසුබිමක් සලසා දිය යුතුමය.

දෙමාපියන්ගේ සදාතනික සිතුවිල්ල වන “සියල්ලට පෙර දරුවන්” ය යන්න මෙවර ලෝක ළමා දින තේමාව බවට පත්ව තිබේ. ප්‍රගතිශීලී රජයක් වශයෙන් සුරක්ෂිත පරිසරයක් තුළ ඔබේ දරුවාට අවශ්‍ය සේවා, පහසුකම් සහ අවස්ථා සලසා දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි යථාර්ථයක් බවට පත්කරමින් සිටින බව සිහිපත් කරමි.

සමාජානුයෝජන ක්‍රියාවලියේ දී පුරෝගාමී සියලුම ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළු කොට තැකිය නොහැකිය. එ බැවින් ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි. ඒ ජීවිතය යනු ආපසු හැරවිය නොහැක්කක් බැවිනි.

මෙවර ද ලෝක ළමා දිනය අපගේ දරුවන්ට පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට අවස්ථාව නැතත් සියලුම දරුවන්ට තමන්ගේ නිවහනේ සිට හෝ සතුටින් සැමරීමට ආශිර්වාද කරමින් ඔබ සැමට සෞභාග්‍යවත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ
2021 සැප්තැම්බර් මස 30 වන දින

Related posts

2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවයි

Mohamed Dilsad

අද සිට තාවකාලික පදනම යටතේ බස් රථ ලියාපදිංචි කෙරේ

Mohamed Dilsad

සූර්ය බල විදුලිය උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි – බලශක්ති අමාත්‍යංශය

Editor O

Leave a Comment