Trending Newsඑසැන පුවත්දේශීය

ඔන්මැක්ස් තැන්පත්කරුවන් 2,017 දෙනෙක් පැමිණිලි ඉදිරිපත් කරලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි.

ඔන්මැක්ස් ඩීටී පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනයන් සිදුකොට මුදල් අහිමි වූ තැන්පත්කරුවන් විසින් මේ දක්වා පැමිණිලි 2,017 ක් ඉදිරිපත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව, ඔවුන්ට අහිමි වී තිබෙන මුදල රුපියල් බිලියන 2.96 ක් ලෙසද ගණන් බලා තිබේ. මෙම පැමිණිල්ල අද (11) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ බව පැවසීය.

නිලධාරීන් එහිදී පෙන්වා දී ඇත්තේ ඉකුත් නඩු දිනයේ සිට මේ දක්වා අදාළ ආයෝජනය ක්‍රමයේ මුදල් තැන්පත් කර, මුදල් අහිමි වූ පුද්ගලයින් 865 දෙනෙකු විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බවත්ය. එම අවස්ථාවේ දී අදාළ සමාගමේ අධ්‍යක්ෂවරු ඇතුළු සැකකරුවන් නවදෙනෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

මේ අතර, තවත් සැකකරුවන් තිදෙනෙකු මේ වනවිට විදේශගතව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ. මෙම සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉන් සැකකරුවන් දෙදෙනකුගේ පරීක්ෂණ කටයුතු අවසන් කර උද්‍රෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් දැනුම් දුන්නේය.

මෙම සමාගමේ සැකකාර අධ්‍යක්ෂවරුන්ට අයත් දේපළ ඕස්ට්‍රේලියාව වැනි විදේශ රටවල පවතින බවට කරුණු අනාවරණය වී ඇති බවත් ඒවා හඳුනාගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා විමර්ශන සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා ඇත. ඊට අමතරව මෙම සැකකරුවන්ට අයත් ඉඩම් 31 ක් තහනම් කර ඇති බවත් ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී මහෙස්ත්‍රත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ට ආපසු මුදල් ගෙවීමේ වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතු බවය. ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 05 වනදා යළි කැඳවන ලෙසත් එදිනට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Related posts

රවුෆ් හකීම් පාස්කු කොමිසමේ පොලිස් ඒකකය වෙත

Mohamed Dilsad

Revolutionary Guard Corps: US labels Iran force as terrorists

Mohamed Dilsad

US contributes Rs. 350 million for Sri Lanka flood relief

Mohamed Dilsad

Leave a Comment