ක්‍රීඩා

යුපුන්ගේ වටිනාකම ඩොලර් ලක්ෂයට වඩා වැඩියිලු

(UTV | කොළඹ) – ලෝක මට්ටම සමඟ සන්සන්දනය කරද්දී තමන්ගේ වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ෂයට වඩා විශාල එකක් බව කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් කියයි.

ඩොලර් ලක්ෂයක් රුපියල් වලින් විශාල මුදලක් වුවද ඉතාලියේදී එය ඔහුගේ වසර දෙකහමාරක පමණ පුහුණුවීම් සඳහා යන වියදමක් බව යුපුන් අබේකෝන් සඳහන් කළේය. මෙසේ තමන්ට මුදල් තෑගි පිරිනැමීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා අනෙකුත් සියලු දෙනාට ස්තූතිය පුද කරන බව කෙටිදුර ධාවන ශූරයා පැවසීය.

“තත්පර 10.5 සිට 10.1 දක්වා අඩු කරගන්න මම වසර 5ක් වෙහෙසුණා. ඒ වගේ කැපවීම් කරන්න වෙනවා. බෝල්ට් අවුරුදු 17 දී පළමු ලෝක වාර්තාව බිහිකරනවා. එතැන් සිට වසර 4කට පසුවයි යළි ඔහු ලෝක වාර්තාව බිහි කරන්නේ. යොහාන් බ්ලේක් අවුරුදු 24 දී වාර්තාවක් බිහි කරන්නේ. එක එක්කෙනා වෙනස්. ඇතැම් ක්‍රීඩකයන් හොඳම දක්ෂතා දක්වා තිබෙන්නේ වයස 38 දී. මගේ හොඳම කාලය මොන වසරේද කියන්න දන්නේ නෑ. දිගටම පුහුණුවීම් සිදු කරනවා.”

පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනාගත් යුපුන් අබේකෝන් මාසයක පමණ කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි අතර, මාධ්‍යවේදීන් සමඟ සුහද හමුවක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් පෙරේදා සංවිධාන කළේය. මේ හමුව අතරතුරදී මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා තෑගි පිරිනැමීමක් ද සිදු කළේය. මලල ක්‍රීඩා ලේකම් ප්‍රේමා පින්නවල, භාණ්ඩාගාරික ශාන්ත ද සිල්වා, උප සභාපති චන්දන ඒකනායක, උප සභාපතිනී දමයන්ති දර්ශා හා සටහන්කරු සමන් කුමාර යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබාදීමට එකඟ වූ මුදල් තෑග්ග ලබා ගැනීමට ප්‍රමාද වූයේ ඇයි දැයි මාධ්‍යවේදියෙකු යුපුන්ගෙන් ප්‍රශ්න කළේය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මට ලැබුණ අමෙරිකානු ඩොලර් ලක්ෂය තාම අරගෙන නැහැ. මට විතරක් ලැබිලා වැඩක් නැහැ. මගෙන් පසුව එන කෙනාටත් අවශ්‍ය දේවල් ලැබෙන්න ඕන. මා සමඟ වැඩ කරන කණ්ඩායමක් සිටිනවා. ඒ අයටත් ලැබිය යුතුයි. ඒ නිසා මම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සාකච්ඡා පවත්වමින් සිටිනවා. මම උපරිම උත්සාහ කරනවා අනාගත මලල ක්‍රීඩකයන් සම්බන්ධ වැඩපිළිවෙළක් හදන්න. අර්ජුන රණතුංග මහතා සිටින කමිටුව සමඟත් කතා කරගෙන යනවා. මොනවත්ම නැති තැනක අලුත් දෙයක් හදන එක අමාරු වැඩක්.

වෙන රටකට දුවනවා කියන එක දැඩි තීරණයක්. මම තවම එහෙම තීරණයක් අරගෙන නැහැ. කවුරු හරි ඉන්න ඕන ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව උඩට ගන්න දෙයක් කරන්න. මට දෙයක් කරන්න පුළුවන් නම් මම ඒක අනිවාර්යයෙන් කරනවා. අන්තිම මොහොත දක්වා උත්සාහ කරනවා. වෙන රටකට දුවන්න ඉල්ලීමක් එනවා කියන එකම ඇති මගේ වටිනාකම තේරුම් ගන්න. ලෝකෙ ගොඩක් රටවල් වෙන රටවල් වලින් ක්‍රීඩකයෝ අරගෙන දුවනවා. පාස්පෝට් මාරු කරලා දුවන එක අපටත් ප්‍රශ්නයක්. බහරේන්, කටාර් වගේ රටවල් මලල ක්‍රීඩකයෝ සල්ලිවලට ගන්නවා. එයාලා එහෙම කරද්දී අපිටත් අභියෝගයක්, ඒ නිසා ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. මගේ ලබන වසරේ බලාපොරොත්තු වෙන්නේ ආසියානු රන් පදක්කම දිනා ගන්නයි. ක්‍රීඩකයෝ යන්නේ දිනන්නයි. නමුත් ලෙහෙසි නෑ. ඒත් ආසියානු පදක්කම මගේ කර ගන්න බලනවා. 2024 පැරිස් ඔලිම්පික් උලෙළේදී පදක්කමක් මගේ තවත් හීනයක්” යුපුන් පැවසීය.

Related posts

ඉන්දීය 19න පහළ කණ්ඩායම ලකුණු 229ක් ඉදිරියෙන්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමඟ තරඟයේ කාසියේ වාසිය දකුණූ අප්‍රිකාවට

Mohamed Dilsad

ඉන්දියාව හා ශ්‍රී ලංකාවට අතර දෙවන T20 තරගය අද

Mohamed Dilsad

Leave a Comment