දේශීය

කංසා වගාකිරීමේ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

කංසා ශාකය වාණිජ වගාවක් වශයෙන් සිදුකිරීමේ අරමුණින් ඊට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

 

ආයුර්වේද වෛද්‍යවරු දෙදෙනකු වන කමල් බන්දුල වීරප්පෙරුම සහ ගල්හේනගේ නානායක්කාර විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බව “අද දෙරණ” අධිකරණ වාර්ථාකරු සඳහන් කළේය.

 

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

 

ආයුර්වේද වෛද්‍ය පනත සංශෝධනය කිරීමට අදාළ “ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත” ඉකුත් 05 වනදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවද පෙත්සමේ සඳහන්ය.

 

මේ අවස්ථාව වන විටත් වගාකිරීමට යෝජනා කර ඇති කංසා ශාකය වාණිජ වගාවක් ලෙස පළාත් සභා ලැයිස්තුවේ ඇතුළත් කර ඖෂධ උද්‍යානවල වගා කිරීමට අදාළ විධිවිධාන අදාළ පනත් කෙටුම්පතේ 7 සහ 9 වැනි වගන්තිවලින් ඉදිරිපත් කර ඇති බව පෙත්සමේ සඳහන් කර ඇත.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව ආයුර්වේද විෂය පළාත් සභාවට අනුයුක්ත විෂයක් වන අතර මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජය විසින් පළාත් සභාවල අදහස් විමසීමක් සිදුකර නොමැති බව පෙත්සමේ සඳහන් කර තිබේ.

 

පළාත් සභාවල අදහස් විමසීමකින් තොරව අදාළ පනත් කෙටුම්පත සෘජුවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන උල්ලංඝනය වී තිබෙන බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

 

මෙමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

ආපදාවෙන් හානිවූ මාර්ගවලින් සියයට 85%ක් වාහන ධාවනය විවෘතයි..!

Editor O

මෙරට ගෝණුස්සන් 200 ක් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

බුස්සේ රැඳවියන් වර්ජනය අත්හරී

Mohamed Dilsad

Leave a Comment