දේශීය

ඌරගස්මංහන්දියේ වෙඩිතැබීම ගැන පුළුල් විමර්ශනයක්

ඌරගස්මංහන්දිය, හිපන්කන්ද ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රියේ පුද්ගලයෙකුව වෙඩිතබා ඝාතනය කර තිබුණි.

 

පොලීසිය සඳහන් කළේ, එම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ අපරාධයක් ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බවය.

 

අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව සඳහන් කළේය.

 

“ඌරගස්මංහන්දිය පොලිස් වසමේ හිපන්කන්ද කියන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුවුණා. මෙහිදී වයස අවුරුදු 45කට ආසන්න පුද්ගලයෙක් මියගිහින් තියෙනවා. පිස්තෝල අවියකින් තමයි වෙඩිතැබීම සිදුකරලා තිබෙන්නේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමයි මේ වෙඩිතැබීම සිදුකරලා තිබෙන්නේ. මියගිය පුද්ගලයා එම ස්ථානයේ ව්‍යාපාරිකයක් පවත්වාගෙන යන කෙනෙක්.”

 

“පිස්තෝලයෙන් උණ්ඩ 4ක් භාවිත කරලා තියෙන බවට තමයි දැනට අනාවරණය වෙන්නේ. මියගිය පුද්ගලයාගේ මෘතශරීරය දැනට ඇල්පිටිය මහ රෝහලේ තැන්පත් කරලා තියෙනවා. අදාළ විමර්ශන කටයුතු ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානය මගින් සිදුකරනවා. මෙම වෙඩිතැබීම සිදුකරනු ලැබුවේ කුමණ හේතුවක් මතද යන්න අනාවරණය කරගැනීමටත් විමර්ශන ක්‍රියාත්මකයි. නමුත් දැනට විමර්ශන නිලධාරීන් සැකකරන්නේ මෙය මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු යම් කිසි ආකාරයක අපරාධයක්ද කියලා.”

 

මුදල් හුවමාරු ක්‍රමයට මුදල් ගනුදෙනු කිරීමට බව පවසමින් වෙළෙඳසැලට පැමිණි අයෙක් අදාළ වෙඩිතැබීම සිදුකර යතුරුපැදියකින් පළාගොස් ඇති අතර වෙඩිතැබීම CCTV කැමරාවක ද සටහන්වී තිබුණි.

Related posts

ත්‍රිවිධ හමුදාවත් අද සිට මාර්ග බාධක රාජකාරීවල

Mohamed Dilsad

ජාත්‍යන්තර මුහුදුදේ දී යාත්‍රාවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්

Editor O

සදුදා සිට විශේෂ සහන මිලකට අත්‍යවශ්‍යය ආහාර නිවෙස්වලටම

Mohamed Dilsad

Leave a Comment