දේශීය

මෙරටට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට පනවා ඇති නීති ලිහිල් වෙයි

(UTV | කොළඹ) – මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය සහ විදේශීය ගුවන් මඟීන් සඳහා නව මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ, නව මාර්ගෝපදේශවලට අනුව ඕනෑ ම ගුවන් මඟියෙකු පූර්ණ එන්නත්කරණයට ලක් ව සති දෙකක් ඉක්ම ගොස් ඇත්නම් සහ ඔවුන් පැමිණෙන රටේ පැය 72කට පෙර සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු නො වන්නේ නම් මෙරට දී යළි පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වීම අනවශ්‍ය බවයි.

මෙම ක්‍රමවේදය කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ දෙක සඳහා ම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී ඊයේ පැවති සාකච්ඡාවක දී මෙම තීරණවලට එළඹ තිබෙනවා.

ඒ අනුව පූර්ණ එන්නත්කරණය නො වූ විදේශිකයන්ට, විදෙස් සංචාරකයින්ට ජෛව බුබුලක් ලෙස සිය හෝටලය වෙත යාමට අවස්ථාව ලබාදෙන බවත් එහි දී පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කළා.

එහෙත් ලාංකිකයන්ට ගුවන් තොටුපොළේ දී හෝ රැඳී සිටින හෝටලයේ දී පී.සී.ආර්. පරීක්ෂණ කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මඟින් ආසාදිතයෙකු නො වන්නේ නම් ඔවුන්ව නිවෙස් කරා යොමු කෙරෙනවා.

එහිදී 12වන දිනයේ දී නැවත වරක් සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණයකින් ද ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුන්ට සමාජගත වීමේ හැකියාව පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් වෙත රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක හෝ ඔවුන් විසින් තෝරාගන්නා ලද හෝටලයක දී දින 14ක් නිරෝධායනය වී සමාජගත විය හැකියි.

කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

Related posts

13 වන ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල විදුලිය – ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කරමින් චක්‍රලේඛයක්

Mohamed Dilsad

ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීමට පියවර ගන්නවා – අගමැතිනි හරිනි අමරසූරිය

Editor O

Leave a Comment