මැතිවරණ කාලසීමාව තුළදී වත්මන් ආණ්ඩුව නීතිය සැමට සමානයි යන සටන් පාඨය එළිදැක්වූවද, මේ වන විට එය ප්‍රායෝගිකව සිදුකිරීමේදී අසමත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, “ නීතිය ක්‍රියාත්මක වීමට අදාළව මේ ආණ්ඩුවේ බලවතුන් සහ මැති ඇමතිවරු යම් යම් සුවිශේෂී වරප්‍රසාද භුක්ති විදින බවත් මේ ආණ්ඩුවේ ගෙවීගිය පළමු අවුරුද්දක කාලසීමාව තුළ අපි ඉතාම පැහැදිලිව දැක්කා. ලංකාවේ ආණ්ඩු සම්බන්ධව ඓතිහාසිකවම තිබුණු චෝදනාවක් තමයි ආණ්ඩුවක් තිබෙන විට ඒ ආණ්ඩුවේ සමීපතමයින් සහ ආණ්ඩුවේ මැති ඇමතිවරු නීතිය සම්බන්ධයෙන් නීතියට අදාළව නැතිනම් තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් යම් යම් විශේෂ වරප්‍රසාදලාභීන් විදිහට හැසිරෙන බව. වර්තමාන ආණ්ඩුව බලයට පත්වන්නට පෙර සහ බලයට පත්වෙන අවස්ථාවේදීත් වර්තමාන ආණ්ඩුව සහතික කර ප්‍රකාශ කර සිටියා නීතියට ඉහළින් කිසිවෙක් නැහැ කියලා. නීතිය සැමට සමානයි කියන සටන් පාඨය ඉතාම පැහැදිලිව මැතිවරණ කාලසීමාව තුළ කතා කළා. නමුත් ආණ්ඩුව බලයට පත්වූ පසුව ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අසමත් කියන එක තමයි අපේ නිරීක්ෂණය. නමුත් ආණ්ඩුවට යුතුකමක් තිබෙනවා යම් යම් සිද්ධි සම්බන්ධයෙන් තමන්ගේ අවංක ස්ථාවරය පැහැදිලි කරන්න. නමුත් අපිට පේන්නේ යම් යම් පිරිස් බේරාගැනීම වෙනුවෙන් ඔවුන් පෙනි සිටින බවක්.
ඒ වගේම ජපානයේ අලුත් අග්‍රාමාත්‍යතුමිය තේරිපත් වුණා. ජපන් ඉතිහාසයේ පළවෙනි කාන්තා අගමැතිතුමිය එතුමිය. ජපානයේ අලුත් අගමැතිවරියත් භාරගන්නේ බරපතල සමාජ, ආර්ථික අර්බුද සහිත රටක්. එහෙම රටක් භාරගන්න මොහොතකදි අලුත් රාජ්‍ය නායකයෙක් සහ ආණ්ඩුවත් ඒ සිද්ධි සම්බන්ධයෙන් කතා කරන විදිහ පිළිබඳ ඉතාම ප්‍රශස්ථ උදාහරණයක් ඊයේ රාත්‍රියේ අපි දැක්කා. උදාහරණයක් විදිහට ගත්විට ජපානයේ මේ මොහොත වන විට තිබෙන ප්‍රධාන ආර්ථික සමාජ ගැටලු කිහිපයක් තිබෙනවා. දීර්ඝ කාලීනව සැලකිය යුතු කාලයක් මන්දගාමී ආර්ථික වර්ධනයක්, ඒ වගේම පුරවැසියාගේ ආදයම් සහ වියදම් සම්බන්ධව අර්බුදයක්, උපත් අනුපාත ඉතාම අවම මට්ටමක පැවතීම නිසා ප්‍රජාව සම්බන්ධයෙන් සමාජ අර්බුදයක් එරට තුළ හැදි තිබෙනවා. ඒ වගේම අයෝජන සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. ඊට අමතරව භූ දේශපාලනීක ආතතීන් රැසක් මැද තමයි ජපානයේ මේ අලුත් ආණ්ඩුව බලයට එන්නේ. අලුත් අගමැතිතුමිය ඊයේ බලය ගන්න අවස්ථාවේ ජාතිය අමතමින් ප්‍රකාශ කරපු කාරණා ඉතාම වැදගත්. ඇය කිසිදු කෙනෙකුට චෝදනා කරන්න උත්සහ කළේ නැහැ. ඇය කිසිදු කෙනෙකුට අවලාද නගන්න නොවේ උත්සහ කළේ අලුත් සමාජයක්, අලුත් ජපානයක් නිර්මාණය කිරීම ගැනයි. ඇය ප්‍රකාශ කළ සිටියා ජාතික අවශ්‍යතා ආරක්ෂා කරමින් ජපානයට අලුත් ආර්ථිකයක් හදනවා කියලා. ඉහළ යන මිල මට්ටම් පාලනය කිරීම සම්බන්ධයෙන් එතුමිය යෝජනාවක් කළා, ඛනිජ තෙල් මත පනවා තිබෙන බදු අහෝසි කිරීමක් සම්බන්ධව. ලංකාවෙත් එහෙම යෝජනාවක් මැතිවරණයට පෙර තිබුණත් නමුත් පසුව එය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම බදු රහිත ආදායම් මට්ටම ඉහළ දැමීම සම්බන්ධ යෝජනාවක් සහ පවතින අර්බුද කළමණාකරණය කිරීම කියන පදනම මත ඉතාම ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න එතුමිය රටට පොරොන්දු වුණා. මම මෙය ගලපන්න කල්පනා කළේ ලංකාවේ අලුත් ආණ්ඩුව පැමිණියාම පහුගිය කාලයේ අපි දැක්කේ තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් අනෙකාට අවලාද නැගීමක් මිසක් යෝජනා ඉදිරිපත් කිරීමක් නොවේ.” යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.
